ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් සහ එක් තීරයක් – එක් මාවතක් එකම මාවතක ගමන් ගන්නවා – චීන ජනාධිපති

May 17, 2017

මුහුදු සේද මාර්ගයේ මුතු ඇටය ශ්‍රී ලංකාව බැවින්, වරාය හා නාවුක ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය භාරය අතිශය වැදගත් වන බව අවධාරණය කළ චීන ජනාධිපති ෂී ඡින්පිං (XI Jinping) මහතා, ශ්‍රී ලංකාවේ අනාගත සෞභාග්‍යය හා සමෘද්ධිය තමන් ප්‍රාර්ථනා කරන බව ද, ඒ සඳහා වරාය ප්‍රමුඛ වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා ශ්‍රී ලංකාවට තම සහය ලබා දෙන බව ද පැවසීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් සහ එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය සමාන්තර මාවතක ගමන් ගන්නා බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

15 වන දා යැන්ඡි විල නිකේතනයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එක් තීරයක් – එක් මාවතක් සමුළුවේ වට මේස සාකච්ඡා වාරය අතරතුර පැවති දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ චීන ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ය.

දිවා භෝජන සංග්‍රහයේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නයේ දී ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව අවධානය යොමු කරලීම වැදගත් බවයි.

ලෝකයේ විවිධ රටවල ආරක්‍ෂිතව ඇති අතීත මුහුදු සේද මාර්ගයට සම්බන්ධ පුරා වස්තු පිළිබඳ ඩිජිටල් එකතුවක් සම්පාදනය කිරීම, බෞද්ධ සංස්කෘතික සම්බන්ධතා තහවුරු කිරීම සහ පුරවැසියන් බල ගැන්වීමේ දී කාන්තා සහ තරුණ කොටස් වෙත විශේෂ අවධානය යොමු කිරීම ඒ කරුණු  බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වට මේස සාකච්ඡාව අවසානයේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීය.

එහිදී ඔහු පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුව හරහා රටවල් අතර ආර්ථිකය නගා සිටුවීමේ මාවතක් විවෘත කිරීමේ හැකියාව ලැබුණු බවයි.

එක් තීරයක් – එක් මාවතක් සංකල්පයෙහි කිසිදු සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති බව අවධාරණය කළ චීන ජනාධිපතිවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 124 ක් වෙන් කර ඇති බව ද වැඩිදුරටත් පැවසීය.

එක් තීරයක් – එක් මාවතක් සංකල්පය පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඉදිරියට ගෙන යාම සඳහා දැනටමත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 68 ක් අත්සන් කර ඇති බව කී චීන ජනාධිපතිවරයා, සංවර්ධනය සඳහා වූ නව පණිවුඩයක් මෙම සමුළුව හරහා ලෝකයට ලබාදීමට හැකි වූ බව ද  පැවසීය.

මෙම සංකල්පයට ආර්ථික, වෙළඳ, යටිතල පහසුකම්, විද්‍යා හා තාක්‍ෂණ, කෘෂිකර්ම, සංචාරක ව්‍යාපාරය හා මාධ්‍ය ආයතන සංවර්ධනය ඇතුලූ කරුණු රැසක් අඩංගු වී ඇති බව පෙන්වා දුන් ෂී ඡින්පිං මහතා, මෙම සමුළුවේ එකම පරමාර්ථය රටවල් අතර සමතුලිත සංවර්ධනයක් ඇති කිරීම හා ආර්ථික පසුබෑම්වලට ලක්වූ රටවලට අතහිත දීම බවත්, දුප්පත්කමට එරෙහිව සටන් කිරීම සමුළුවේ මූලික පරමාර්ථයක් බවත් සඳහන් කළේය.

එක් තීරයක් – එක් මාවතක් සමුළුවේ මීළඟ සැසිවාරය 2019 වසරේ පැවැත්වීමට අපේක්‍ෂා කරන බව නිවේදනය කළ ෂී ඡින්පිං මහතා මේ ප්‍රයත්නය ජය ගැනීමට නම් සියලූ පාර්ශවයන් එකමුතුව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතු බව ද පැවසීය.

t

o

p