හිටපු ජනපතිගේ ආරක්ෂකයන් නැවත ලබා ගන්නට මැදිහත් වන ලෙස කතානායකගෙන් ඉල්ලයි

May 4, 2017

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ජිවිත තර්ජන ඇති වන ආකාරයෙන් ඔහුට ලබා දී තිබු ආරක්ෂකයින් ඉවත් කර තිබෙන නිසා වහාම මෙයට මැදිහත් වී විසදුමක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (04) කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
මැයි දින රැළියෙන් පසු බිය වී ඇති ආණ්ඩුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබු ආරක්ෂක නිලධාරින් 45 දෙනෙකුට ඉන් ඉවත් වෙන ලෙසට නියෝගයක් කර ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසිම ආරම්භ වද්දිම රීති ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාම කියලා තියෙනවා එතුමාගේ ජිවිතයට තර්ජනයක් ඇති වෙන ලෙස ආරක්ෂක නිලධාරින් ඉවත් කලාය කියලා. එතුමා හිටපු ජනාධිපතිවරයෙක් වගේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
මැයි දිනයෙන් පසුව තමයි ආරක්ෂකයන් අඩු කිරිමේ නියෝගය එන්නේ. මුලින්ම එතුමාට හිටපු හමුදා ආරක්ෂාව ඉවත් කලා. දැන් ඉන්නේ පොලිසියේ සහ එස්.ටි.එෆ් එකේ නිලධාරින් පමණයි. එතුමාගේ ජිවිතයට තර්ජනයක් වන පරිදි මෙලෙස ආරක්ෂක නිලධාරින් ඉවත් කිරිම පාර්ලිමේන්තුවේ හා කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා.
කතානායක කරු ජයසූරිය මහතා – විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් මට මේ සම්බන්ධයෙන් කතා කලා. සාගල රත්නායක ඇමතිවරයා මට හමුවෙනවා. එතනදි මම මේ ගැන කතා කරලා අවශ්‍ය පියවර ගන්නම්.
දිනේෂ් ගුණවර්ධන මහතා – අගමැතිතුමාටත් සාගල රත්නායක ඇමතිතුමාටත් මම කතා කරලා මේ ගැන දැනුම් දුන්නා. මේක කල් නොයවා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේක හිටපු ජනාධිපතිතුමාගේ ජිවිතයට තර්ජනයක් මැදිහත් වෙනවා නම් වහාම මැදිහත් වෙන්න. මේ අවස්ථාවේ දේශපාලන වෛරයන් පිරිමහන්න පුළුවන් අවස්ථාවක්. අපි අහන්නේ මොකටද බය වෙලා තියෙන්නේ කියලායි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – අගමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේත් අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන්නම්. ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා නැහැ. එස්.ටි.එෆ් එක තමයි හොදම ආරක්ෂක හමුදා කණ්ඩායම.
ඩලස් අලහප්පෙරුම මහතා – සුමන්තිරන් මන්ත්‍රීතුමාටත් එල්.ටි.ටි.ඊ තර්ජන තිබෙන බවට හෙළිවිම නිසා මේ වන විට පරික්ෂණයක් පැවැත්වෙනවා. සුමන්තිරන් මන්ත්‍රීතුමාටත් තර්ජන තියෙනවා නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට ඊට ලක්ෂ ගණනකට වඩා තර්ජනයක් තියෙන්න ඕනේ. කැම්බල් පිටියේ පැවැති මැයි රැළියේදි සරත් ෆොන්සේකා කිව්වා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු සාටකයේ එල්ල මරන්න ඕනේ කියලා. මේවා ප්‍රාථමික ප්‍රකාශ නොවෙයි.
සභානායක – ඒක අදාළ නැහැ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා – මෙතනදි අවධානය යොමු කරන්න ඕනේ යම් දේශපාලන පක්ෂයක ප්‍රධානියෙකුගේ ආරක්ෂාව දේශපාලන කාරණයක් මත ඉවත් කිරිම සම්බන්ධයෙනුයි. මැයි රැළිය පදනම් කරගෙන ආරක්ෂාව ඉවත් කරනවා නම් ඒක සාධාරණ නැහැ. ආරක්ෂක තක්සේරුවක් මත කරනවා කියන එක වෙන දෙයක් දේශපාලන කාරණයක් මත කරනවා කියන එක තවත් දෙයක්. ආණ්ඩුව සතුව තිබෙන ආයතනයක් දේශපාලන බලය උපයෝගි කරගෙන පක්ෂ නායකයන්ට බලපෑම් කරන්න දෙන්න බැහැ.
කතානායක – ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා මම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නම්

t

o

p