තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කලාපයේ ජීවත්වන ජනයා එහි සංවර්ධන වේගයට වැඩි වේගයකින් වයසට යමින් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සමාජ යටිතල පහසුකම් සැපයිය යුතුව ඇති බවයි.
මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තායිලන්තයේ බැංකොක් නුවර 28 දින ආරම්භ වූ ආසියා පැසිෆික් රටවල සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය යන මැයෙන් ආසියා පැසිෆික් රටවල් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද 4 වන ඉහළ පෙළේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
සමුළුව සඳහා ආසියා පැසිෆික් කලාපීය සියලු රටවල ආර්ථික මූල්‍ය යන ක්ෂේත්‍රයන්ට සම්බන්ධ නියෝජිතයෝ එක්ව සිටියහ. සමුළුවේ සභාපති ධුරය ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට හිමි විය. මූල්‍ය විනය සහ විනිවිධභාවය සම්බන්ධයෙන් කලාපීය රටවල පැසසුම් ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි.
සමුළුම අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා.
“1970 සිට 2014 දක්වා කාලය තුළ ස්වභාවික විපත් 5223 මෙම කලාපයේ සිදුවී ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ දත්තවල සඳහන්. ඉන් බිලියන 6 පමණ ජනතාව පීඩාවට පත්වූ අතර අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.22 ආර්ථික හානියක් වුණා.
දශක තුනක දිගු බෙඳුම්වාදී යුද්ධයෙන් පසු සාමකාමී වාතාවරණයක් ශ්‍රී ලංකාවේ දැන් තිබෙනවා. දැන් පවතින්නේ ව්‍යාපාරික කටයුතු සඳහා මනා පරිසරයක්. මධ්‍යකාලීන සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් තුළ එම වෙළෙඳ පරිසරය බලගන්වා තිබෙනවා. සමාජයේ සියලු කොටස්වල සහභාගීත්වය ඒකරාශී කරගෙන ආර්ථික වර්ධනය කඩිනම් කිරීමට 2017 වසර සඳහා ඉදිරිපත් කළ ජාතික අයවැයේ තේමාව කරගත්තා.
වත්මන් රජය බලයට පැමිණි පසු ගත වූ අවුරුදු දෙක තුළ රටේ දළ දේශීය නිෂ්පාදනය පෙර පැවති 10 – 12% ප්‍රමාණය 15 – 17 % දක්වා ගෙනඒමට මෙම රජය ප්‍රයත්නයක් දරා තිබෙනවා. ඒ සඳහා රජයේ ආදායම් වැඩිකරගැනීමේ ක්‍රමෝපාය අපි යොදා ගත්තා. රජයේ ආදායම් එක්රැස් කිරීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් මඟින් රජයේ ආදායම තවදුරටත් වැඩිකර ගැනීමට අපේක්ෂා කරනවා.”යැයි ද මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ය.
මීට අමතරව නව සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනතක් හඳුන්වාදී දැනට සාමාජික හිමිකම් මත රැඳී තිබෙන කොළඹ කොටස් වෙළෙඳපල වඩා හොඳ වගවීමක් සහිත හා ආයෝජකයින්ට විශ්වාසදායක ආයතනයක් බවට පත්කිරීම තුළින් පෞද්ගලික අංශයේ සහභාගීත්වය වැඩිකිරීමට රජය ක්‍රියාකරමින් සිටින බවද පැවසීය. අද පවතින ගෝලීය ආර්ථික කැළඹුම හමුවේ ණය ලබාගැනීමෙන් යටිතල හෝ වෙනත් ආර්ථික සංවර්ධන ක්‍රියාවන් කෙරේ බලාපොරොත්තු තබාගැනීමට හැකියාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා එම සංවර්ධන ක්‍රියා සඳහා අරමුදල් සපයා ගන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට කලාපයේ බොහෝ රටවල් මුහුණදෙන බව පැවසීය. අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ආසියා පැසිෆික් කලාපයේ රටවල් මුහුණපාන ප්‍රධාන ගැටලුවක් වන්නේ එම රටවල රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමයි. ලෝකයේ ඉදිරියෙන් ඇති රටවල් බොහොමයක් බදු සහ රාජ්‍ය වියදම් වෙළෙඳ චක්‍රයන් අවහිරතාවයකින් තොරව කරගෙන යාමට ඉඩකඩ සලසා දී ඇති බව පැවසීය. කෙසේවුවද, ක්‍රමානුකූලව ක්‍රියාවට නැංවීමට අපොහොසත් වුවහොත් එබඳු ක්‍රියාවලියක් තුළ ඇති බදු නිසා රටක වර්ධනයට හානි සිදුවීමට ඉඩ ඇති හෙයින් ඵලදායී ආර්ථික කටයුතු උදෙසා ආදායම් උත්පාදනය හා පෞද්ගලික අංශයේ ඵලදායී ආර්ථික කටයුතු අතර සමබරතාවක් ඇතිකිරීම බරපතල අභියෝගයක් බව පැවසීය.
නීති විරෝධී ලෙස කෙරෙන ලෝක මූල්‍ය ගනුදෙනු වලින් 40% පමණ ( බදු පැහැර හැරීම් සමඟ) ආසියා පැසිෆික් කලාපයේ රටවල සිදුවන අතර, මෙය නිවැරදි කිරීම සඳහා බදු පරිපාලන ක්‍රමවේදයක් පිහිටුවීමේ කලාපීය සහයෝගිතා රාමුවක් 1970 දී හඳුන්වාදෙන ලදී. මෙය ප්‍රතිපත්ති සම්පාදකයිනට විශේෂ අභියෝගයක් වී තිබේ.
මීට අමතරව දැනට ඉහළ යමින් තිබෙන, ඉදිරියේදී වැඩි ප්‍රතිලාභ ලැබෙන ප්‍රමිතියෙන් යුත් යටිතල සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටී. මෙය යථාර්ථයක් කරගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේදය රටට හඳුන්වා දී ඇති අතර, එය කලාපයේ අනෙකුත් රටවල යටිතල සංවර්ධනය සඳහාද සුදුසු ක්‍රමවේදයක් බව පෙන්නුම් කර තිබේ.
තවද රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නියාමන හා සංස්ථායික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම අවශ්‍ය වන අතර එවිට මෙම සංකල්පය පෞද්ගලික අංශයට වඩා සිත්ගන්නා ක්‍රමවේදයක් බවට පත්වෙන බවද අමාත්‍යවරයා ඔහුගේ දේශනයේදී ප්‍රකාශ කළේය.
එබඳු රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර සම්බන්ධ ප්‍රතිසංස්කරණ එනම්, ඊට අදාළ නීතිරීති බලගැන්වීම, ප්‍රසම්පාදන හා ලංසු තැබීම් නව්‍යකරණය කිරීම, ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම හා ස්වාධීන රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පාලන ඒකක පිහිටුවීම මෙහි සාර්ථකත්වය සඳහා කළයුතු කාර්යයන් බව අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරු වන එස්.ආර්. ආටිගල මහතා සහ චන්ද්‍රා ඒකනායක මෙනෙවිය ද එක් ව සිටියහ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ක්ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය ද මෙම අවස්ථාවට එක් වූහ.