යහපාලන වසර දෙකේ ඉන්දු ලංකා සබඳතා ගැඹුරින්ම ශක්තිමත් වුණා

April 27, 2017

පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා යළි ශක්තිමත් හා ගැඹුරු තලයකට පත්ව ඇති බව ද, ඒ තත්වය උදා කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සේවාව අගය කරන බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං (Hon. Rajnath Singh) මහතා පැවසීය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස හමුවෙමින් රාජ්නාත් සිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වසර දහස් ගණනක් පුරා දෙරට අතර ඓතිහාසික, සංස්කෘතික, ජනවාර්ගික හා ශිෂ්ඨාචාරීය සබඳතා පැවතුණ ද, විවිධ අවස්ථාවල ඒ සබඳතා යම් යම් පළුදු වීම්වලට ද ලක් වුණ වගය.

නමුත් ගෙවුණු වසර දෙකක කාලය තුළ ඒ සබඳතා යළිත් ඉතා ඉහළ මානයකට එසැවී ඇති බව අවධාරණය කළ සිං මහතා පෙන්වා දුන්නේ කලාපයේ ආරක්‍ෂාව, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම උදෙසා මේ සබඳතාවන් උපරිම වශයෙන් භාවිත කළ යුතු බවය.

කලාපීය හා ගෝලීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, හොර සල්ලි ආදී විවිධ නීති විරෝධී ක්‍රියාවන් මැඬලීම උදෙසා දෙරටේම බුද්ධි අංශ සමීපව ක්‍රියා කිරීමේ වැදගත්කම හා අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

දෙරටේ බුද්ධි අංශ අතර නිරන්තර සංවාදයක් පැවැතිය යුතු බව දෙපාර්ශවයේම අදහස විය.

එසේම ශ්‍රී ලංකාවේ පොලිස් සේවය නවීකරණය කිරීමේ දී ඉන්දීය අත්දැකීම් කෙතරම් ඉවහල් කර ගත හැකි ද යන්න පිළිබඳව ද විමසා බැලීම සුදුසු බවට අදහස් හුවමාරු කර ගැනිණි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජාත්‍යන්තර ආරක්‍ෂාව භාර විශේෂ ලේකම් ආචාර්ය රිනා මිත්‍රා (Dr. Rina Mitra), බුද්ධි අංශ අධ්‍යක්‍ෂ රජීව් ජෙයින් (Mr. Rajiv Jain), ජාත්‍යන්තර සහයෝගීතා සම ලේකම් සහේලි ඝෝෂ් (Ms. Saheli Ghosh), විදේශිකයන් පිළිබඳ සම ලේකම් මුකේෂ් මිත්තාල් (Mr. Mukesh Mittal), ධීවර කටයුතු පිළිබඳ සම ලේකම් ආදිත්‍යා ජෝෂි (ර්ප Mr. Aditya Joshi), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු (HE Taranjit Singh Sandhu) ඇතුළු නිලධාරීන් පිරිසක් ඉන්දීය පාර්ශවය නියෝජනය කළ අතර, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා සහ සාර්ක් කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජනරාල් අසෝක ගිරිහාගම සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

t

o

p