මීතොටමුල්ල ඛේදවාචකය සිදුවුණේ මේ ආණ්ඩුවේ වරදින් – ඒකාබද්ධ කැඳවුම්කරු

April 19, 2017

මීතොටමුල්ලේ අසරණ ජනතාව මුහුණ දුන් ඛේදවාචකය සිදුවූයේ වත්මන් ආණ්ඩුවේ වරදින් බවත් එම සිදුවීමට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කොළඹ කුණු ඉවත් කිරීමට ඉකුත් රජය සමයේ සැලසුම් කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උනන්දු වූයේ නම් මෙවැනි විපතක් සිදුනොවන බව පැවසූ රණතුංග මහතා මින් ඉදිරියටවත් පටු දේශපාලන වාසි ගැන නොසිතා කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ මීතොටමුල්ල කුණු කන්ද නායයාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

මීතොටමුල්ලේ ‍කුණු කන්ද නාය යාම හින්දා ජීවිත අහිමි වෙච්ච ජනතාව වෙනුවෙන් අපේ ශෝකය පළ කරනවා වගේම උන්හිටි තැන් අහිමි වූ ජනතාව වෙනුවෙන් අපි කනගාටුව පළ කරනවා. මේ වගේ විපතක් යළි අසන්නට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවේ ඇස් දැන්වත් ඇරෙයි කියලා.

මීතොටමුල්ලේ ජනතාව මේ වගේ අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරු වීමේ වගකීම වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම භාරගත යුතුයි. බලයට ඇවිත් අවුරුදු දෙකහමාරක් තිස්සේ මහින්ද හොරා, මහින්ද හොරා කිය කියා හිටියා මිසක් ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු නොකිරීම තමයි මේ ඛේදවාචකයට හේතු වුණේ.

අඩු ගාණේ හොරා හොරා කියන මහින්ද රාජපක්ෂ රටේත් ජනතාවගේත් ඉදිරි අනාගතය දෙස සුපරීක්ෂාකාරීව බලලා හදපු සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උනන්දු වුණා නම් මේ ඛේදවාචකය වළක්වා ගන්න හොඳටම ඉඩකඩ තිබුණා. නමුත් මහින්ද මහත්තයට ලකුණු වැටෙයි කියන බයට ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය අතහැරියා.

ලෝකයේ සෑම රටකම කුණු කසළ සම්බන්ධයෙන් විශාල ගැටලු තිබෙනවා. ආණ්ඩුවක වගකීම වන්නේ එම ගැටලු නිසි ලෙස කළමනාකරණය කිරීමයි. ආණ්ඩුවේ කළමනාකරණය දුර්වල වුණාම තමයි මේ වගේ ඛේදවාචක සිදුවෙන්නේ. වර්තමාන ආණ්ඩුවට කුණු ගැටලුව තියා කිසිම ජනතා ගැටලුවක් නිසි ලෙස කළමණාකරණය කරන්නට පුළුවන්කමක් නැහැ.

රට පුරා එකතු වන කුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම පැවරී ඇත්තේ පළාත් පාලනය ආයතනවලටයි. කොළඹ නගර සභාව ස්ථාපිත කළ දවසේ පටන්ම පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය විසින්. නමුත් කොළඹ කුණු ගැටලුව විසඳන්න එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරුන් කිසිවකුට අද වෙනකම් පුළුවන් වුණේ නැහැ.

තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කරන්න මහින්ද මහත්තයට ලොකුම හයිය වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොළඹ කුණුවලට සාර්ථක විසඳුමක් දෙන්න නාගරික සංවර්ධන අධිකාරිය හරහා සාර්ථක වැඩපිළිවෙළක් සකසා තිබුණා. කොළඹ කුණු විශේෂිත දුම්රිය මැදිරි මඟින් පුත්තලම ප්‍රදේශයේ හෙක්ටයාර් 30ක පමණ ඉඩමක සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට තමයි සැලසුම් කර තිබුණේ.

මෙම දැවැන්ත ව්‍යාපෘතියට රුපියල් බිලියන 14ක් වැය වෙනවා කියලා ඒ කාලයේ ගණන් බලලා තිබුණා. ඒ අනුව 2014 වසරේ මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබුණා. 2015- 2017 කාලය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2014 මහින්ද මහත්තයාගේ අන්තිම අයවැයෙන් මුදල් වෙන් කළා.

හැබැයි 2015 සිදුවුණ බල පෙරළියත් සමඟ මෙම ව්‍යාපෘතිය අතහැර දැමුණා. මෛත්‍රී- රනිල් සභාග ආණ්ඩුවට ඕනෑ වුණේ මහින්ද හොරා හොරා කිය කියා ඉන්න මිසක් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න නෙමෙයි. අන්තිමේදී ආණ්ඩුවේ මේ පාපකර්මයට කර ගහන්න වුණේ අහිංසක ජනතාවටයි.

මමත් දීර්ඝ කාලයක් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කළා. අපි නම් යම් සිදුවීමක් වුණාම අරයට මෙයාට ඇඟිල්ල දිගු කර කර හිටියේ නැහැ. එදා කුණු කන්දෙන් පාර්ලිමේන්තු ගිය කවුරුත් අද ‍ඒ ජනතාව ගැන බලන්නේ නැහැ. මේ වගේ දේශපාලනඥයන් ගැන ජනතාව තව වරක් හිතන්න ඕනේ.

t

o

p