වියට්නාම් රාජ්‍ය සභාව හා ලංකා පාර්ලිමේන්තුව අතර සබඳතා තර කරන්න විශේෂ වැඩපිළිවෙලක්

April 18, 2017

සමාජවාදී වියට්නාම ජනරජයේ ජාතික රාජ්‍ය සභාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර සබඳතා තහවුරු කරලීම උදෙසා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට පියවර ගන්නා බව ජාතික රාජ්‍ය සභා සභාපතිනි ගුයෙන් ති කිම් ගන් (Nguyen Thi Kim Ngan) මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන් හි දී තීරණය කෙරිණි.

ති කිම් ගන් මහත්මිය සිය උණුසුම් සුභ පැතුම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා වෙත පිරිනමන මෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ගන්නා වෙහෙස සහ ක්‍රියා මාර්ගයන් පිළිබඳව වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

දෙරටේ ව්‍යවස්ථා සම්පාදකයින් සිය අත්දැකීම් බෙදා හදා ගනිමින් සමීපව කටයුතු කිරීම දෙරටට ම සුභදායී කරුණක් බව මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. ඒ අනුව ළඟදීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති රංජිත් අළුවිහාරේ මහතාගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් වියට්නාමයේ අධ්‍යයන චාරිකාවක් සඳහා සහභාගී කරවීමට බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

වියට්නාම් ජාතික රාජ්‍ය සභාවේ සභාපතිනි ති කිම් ගන් මහත්මිය පැවසූයේ ද්විපාර්ශවික තලයේ දී මෙන්ම ජාත්‍යන්තර තලයේ දී ද, දෙරට ව්‍යවස්ථා සම්පාදකයින් සමීපව කටයුතු කිරීම සුදුසු බවය. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය මේ සඳහා වැදගත් වේදිකාවක් බව ද සභාපතිනිය පෙන්වා දුන්නාය.

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජයවර්ධන, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුදන්ත ගනේගමආරච්ච්, අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද, මේ සාකච්ඡාවට සහභාගී වූහ.

Ranil-in-Viyatnam1

t

o

p