නීති විරෝධීව ගෙන එන ලද රු.මිලියන 2ක විදේශිය මත්පැන් තොගයක් සොයා ගනී

April 12, 2017

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය ඊයේ (11) සමත් විය. සුරා බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද මෙම වැටලීමට එක්ව සිටියේ ය.

ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ බහාලුමක් තුළ සූක්ෂ්ම ලෙස මෙම මත්පැන් තොගය සගවා තිබිණි. ඉකුත් අගහරුවාදා අදාළ බහාලුම හඳුනා ගත් අතර, එය අද ආනයනකරුවන් ඉදිරියේ ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේ දී විවෘත කෙරිණි.  එහි දී අදාළ බහාලුමේ තිබී ආනයන ලැයිස්තුවේ සඳහන්ව නොමැති විදේශීය මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයා ගැණින.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍යාංශ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයේ ප්‍රධානී වින්ග් කමාන්ඩර් රවී ජයසිංහ මහතා –

Arak1“ඉතාලියේ සිටින ශ්‍රී ලංකිකයන් පිරිසක් මේ බහාලුම ශ්‍රී ලංකාවට එවල තිබුණ. ආනයනකරුවන් හත් දෙනෙකුගේ නම් සඳහන් වෙලා තිබුණ. අපි අද පස්වරුවේ ඔවුන් ඉදිරියේ ම මේ බහාලුම විවෘත කළා. ඒ අනුව අපට දැන ගන්නට ලැබුණ නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් ආනයනය කිරීමක් සිදු වෙලා තියෙන බව. අපි දැන් සොයා බලනවා මේ ජාවාරම කලක සිට සිදු කරල තියෙනව ද, කොපමණ මුදලක් මින් රජයට අහිමි වෙලා තියෙනව ද කියල. මෙම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් මිලියන දෙකක් පමණ වෙයි කියල අනුමාන කරනවා.

උත්සව සමයේ දී මෙවැනි සිදු වීම් බහුලව දැකිය හැකි බැවින් ඉතා සූක්ෂම ලෙස ඒ පිළිබඳ සොයා බලමින් වැටලීම් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මේ හේතුවෙන් රටට මුදල් අහිමි වීම වලක්වා ගැනීම තමයි අපේ අරමුණ.” යැයි ද ජයසිංහ මහතා පැවැසීය.

t

o

p