විමල් නිදහස් කරන තුරු දිවිහිමියෙන් සටන් කරනවා – ඒකාබද්ධ විපක්ෂ කැඳවුම්කරු

March 27, 2017

යහපාලනය නමින් බලයට ආ වහපාලන ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට හසුව ඇති විමල් වීරවංශ නිදහස් කරන තුරු ඒකාබද්ධ විපක්ෂය දිවිහිමියෙන් සටන් වදින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

දේශපාලන පළිගැනීම් ‍නතර කර විමල් නිදහස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව පැවසූ රණතුංග මහතා විමල් නිදහස් කිරීම කල් යන්නට යන්නට වහපාලන ආණ්ඩුවේ ආයුෂ කෙටි වන බවත් පැවසීය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිංහල එකමුතුවේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අපේ රට ත්‍රස්තවාදය නිසා වසර 30ක් පිඩා වින්දා. ජනතාව රට තුළ ජීවත් වුණේ මරණය අතේ තියාගෙන. කොයි වෙලාවේ කොතැන බෝම්බයක් පුපුරයි ද කියලා දන්නේ නැතුව ජීවත් වෙන්න අපට සිදුවුණා. මේ භයංකාර ත්‍රස්තවාදය පරාජය කරන්න මේ රට පාලනය කරපු විධායක ජනාධිපතිවරුන් තිදෙනකුට බැරි වුණා. ඒ අයට සිදු වුණේ අන්තිමට ත්‍රස්තවාදියා ඉස්සරහා දණ ගහන්නයි.

ත්‍රස්තවාදය නිසා ප්‍රේමදාස මහත්තයට ජීවිතය අහිමි වුණා. චන්ද්‍රිකා මැතිණියට ඇහැක් අහිමි වුණා. ලක්ෂ්මන් කදිරගාමර් වගේ නායකයෝ රටට අහිමි වුණා. අපේ රටේ තරුණ ජීවිත දහස් ගණනක් රටට අහිමි වුණා. දවසට දෙතුන් වතාවක් මැරී මැරී ඉපදුණු අපිට නිදහස කියන වචනයේ අර්ථය කියා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.

එතුමාට රට නිදහස් කර ගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු ත්‍රිවිධ හමුදාවෙන් වගේම රටට ජාතියට ආදරය කරන දේශපාලන සගයන්ගෙත් සහයෝගය ලැබුණා. ප්‍රභාකරන් මැරුණු දවසේ මුළු රටම කිරිබත් කාලා සන්තෝෂ වුණා. හැබැයි වැඩි කල් යන්න ඉස්සර අපේ මිනිස්සුන්ට ත්‍රස්තවාදය නිසා වින්ද දුක අමතක වුණා. ත්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දුන්න නායකයනුත් අමතක වුණා.

එදා යුද්ධයට නායකත්වය දුන්න මහින්ද මහත්තයා ඇතුළු ප්‍රගතිශීලි පිලේ සෑම කෙනකුටම අද උදා වෙලා තියෙන්නේ භයානක ඉරණමක්. ත්‍රස්තවාදය පරාජය වනවාට‍ අකමැත්තෙන් හිටපු අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් සහ කොටි ත්‍රස්තවාදීන්ගෙන් ඉතුරු වෙලා ඉන්න සුන්බුන් ටික මහින්ද ඇතුළු කණ්ඩායම දංගෙඩියට දැක්වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

අවාසනාවකට වගේ අද බලයට පත් වෙලා ඉන්නෙත් ඒකට උඩගෙඩි දෙන ආණ්ඩුවක්. යුරෝපා රටවල සහ කොටි ඩයස්පෝරාවේ උදව්වෙන් බලයට ආපු ආණ්ඩුව අද නටන්නේ ඒ බලවේග ගහන පදයටයි. රට පාවා දීලා හරි බලය රැක ගැනීම තමයි ඒ අයගේ එකම අරමුණ. එදා ත්‍රස්තවාදීන් තැන තැන බෝම්බ පුපුරවපු ‍යුගයටත් වඩා වැඩි භයානක වාතාවරණයකයි අද රට තිබෙන්නේ.

කොටින්ගේ මනදොළ සපුරන්න එදා රට රැකපු රණවිරුවන් හිරගෙට දක්වන ආණ්ඩුව ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා. දිවි නොතකා රට බේරාගන්න සටන් කරපු විරුවන්ට අද වෙලා තියෙන්නේ තමන්ගේම ආණ්ඩුවෙන් දිවි බේරාගන්න සටන් වදින්නයි. ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා විනාශ කරන්න ඕනේ කියලා පැහැදිලිව කියපු මහින්ද ඇතුළු නායකයන්ටත් අද අත්වෙලා තියෙන්නේ එකම ඉරණම.

විමල් වීරවංශ කියන චරිතයට බොරු චෝදනා දමලා දින හැත්තෑපහක් තිස්සේ ඇප නොදී රිමාන්ඩ් ගත කරලා තියෙන්නේ මේ නිසයි. යුද්ධය දිනාගන්න උදව් කරපු විමල් හිරගත කරලා ඩයස්පෝරාවේ හිත් සතුටු කරන ගමන් ආණ්ඩුව තමන්ගේ දේශද්‍රෝහී ගමන විමල් හරහා රටට එළිදරව් කරන එකත් නතර කර ගන්න පුළුවන් කියලා කල්පනා කරනවා.

කොටි ඩයස්පෝරාවට ඕනෑ එදා යුද්ධයට ශක්තියක් වුණ විමල්ගෙන් පළිගන්න. ජනතා විමුක්ති පෙරමුණට ඕනෑ තමන්ගේ හෙලුව එළිදරව් කරපු විමල්ගෙන් පළිගන්න. එක්සත් ජාතික පක්ෂයට ඕනෑ රට බෙදන ව්‍යවස්ථාවට විරුද්ධ විමල්ගෙන් පළිගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයට ඕනෑ තමන්ට වඩා ජනප්‍රිය විමල්ගෙන් පළිගන්න. බලාගෙන යද්දි හැමෝටම ඕනෑ විමල් හිරේ දාන්නයි.

ආණ්ඩුව විමල් හිරේ දාන ගමන් පණිවිඩ දෙකක් දෙන්න උත්සාහ කරනවා. එක පැත්තකින් විමල්ට කියනවා කට වහගෙන ඉඳපන් නැත්නම් ඇප නෑ කියලා. අනෙක් පැත්තෙන් රට වෙනුවෙන් කෑහන ‍ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් අනතුරු අඟවනවා උඹලටත් මේ ටික තමයි කියලා.

ආණ්ඩුව අද හදන්නේ මර්දනයයෙන් තර්ජනයෙන් අපේ කටවල් වහන්නයි.

විමල් වීරවංශට තියෙන චෝදනාවම එල්ල වෙලා තියෙන ලසන්ත අලගියන්න, ආශු මාරසිංහ කියන යහපාලනයේ හිතවත් මහත්වරුන්ට එරෙහිව පොලීසිය කිසිම පරීක්ෂණයක් මේ වෙනකම් ආරම්භ කරලා නැහැ. අන්න බලන්න ඉඳුල් කනකොට ලැබෙන වාසිය. ඉඳුල් කෑවොත් නඩු නෑ. නඩුවලින් බේරෙන්න සමහරු ඉඳල් හරි කන්න ලෑස්ති වුණාට අපට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ.

ඒ වගේම විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැහැදිලිව කියා සිටිනවා තමන් අනුගමනය කළේ තමන්ට පෙර හිටපු ඇමැතිවරයා අනුගමනය කළ පටිපාටිය පූර්වාදර්ශයක් කරගෙනයි කියලා. එතකොට කවුද විමල්ට පෙර හිටපු ඇමැති? විමල්ට කලින් ඉදිකිරීම් ඇමැති ධූරය දැරුවේ යහපාලන ආණ්ඩුවේ කප්පිත්කෙක් කියලා කියා ගන්න රාජිත සේනාරත්න.

විමල්ට තියෙන චෝදනාවම තියෙන රාජිතටත් කිසිම පරීක්ෂණයක් නැහැ. තව පැත්තකින් උපදේශකයෝ හැත්තෑපහක් තියාගෙන ඒ අයට පඩි, වාහන, සියලු දීමනා ගෙවන ලක්ෂ්මන් කිරිඇල්ලට විරුද්ධවත් කිසිම පරීක්ෂණයක් නැහැ. රජයේ වාහන භාවිතා කරපු එකම ඇමැති විමල් වීරවංශ විතරයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඇහැට පේන එකම කෙනා විමල් විතරයි.

මහ බැංකුවේ රුපියල් බිලයන හයක් හොරා කාපු අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුට උපදෙස් දුන්න නායකයෝ යහතින් නිදැල්ලේ ඉන්න කොට විමල් වීරවංශලා ඇපත් නැතුව රිමාන්ඩ් ගත කෙරෙන්නේ යහපාලනය නිසාදැයි අපි ප්‍රශ්න කරනවා. එහෙන් පොලිස්පති නීතිය නමනවා. මෙහෙන් රනිල් උන්නැහෙ නීතිය නමනවා. අපි තැලෙනවා.

තවදුරටත් ආණ්ඩුවට මේ වගේ අත්තනෝමතිකව කටයුතු කරන්න දෙන්න බැහැ. මේ මර්දනකාරී ආණ්ඩුව වහාම එළවා දැමිය යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ පළිගැනීම නතර කොට විමල් වීරවංශ වහාම නිදහස් කරන ලෙස. විමල් වීරවංශ වගේම පළිගැනීමට ලක්වෙලා ඉන්න සියලු අහිසංකයන් නිදහස් කරන තුරු අපේ සටන අපි අතහරින්නේ නැහැ.

විමල් වීරවංශ නිදහස් කරන්න කල් ගත වෙන්න වෙන්න මේ ආණ්ඩුවේ ආයුෂත් කෙටි වන බවත් මතක තබා ගත යුතුයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුව යටතේ අපි මේ වගේ බොරු චෝදනා එල්ල කරන්න කටයුතු කරපු දේශපාලනඥයන්ටත් ඒවට අනුබල දීපු නිලධාරීන්වත් කිසිදු සමාවක් දෙන්නේ නැහැ.

t

o

p