කාන්තාවගේ අභිමානයට රජය පියවර රැසක් ගත්තා – ජනාධිපති

March 8, 2024

කාන්තා දිනය එක් දවසකට පමණක් සීමා නොකර, නව නීති රීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් කාන්තාවගේ අභිමානය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ පණිවිඩය මෙසේය:

“සාම්ප්‍රදායික භූමිකා අබිබවා දැනුමෙන්, හැකියාවන්ගෙන් සහ වෘත්තීයභාවයෙන් සන්නද්ධව ශ්‍රී ලාංකේය කාන්තාව අද මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් සලසමින් සිටියි. එවන් පසුබිමක පවුල තුළ මෙන්ම සමාජය තුළද විවිධ භූමිකා හිස දරාගනිමින් කටයුතු කරන කාන්තාව රටට අභිමානයකි.

“එසේම කාන්තා දිනය එක් දිනකට පමණක් සීමා නොකර නව නීති රීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් කාන්තාවගේ අභිමානය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති අතර, කාන්තාවන්ට වෙනස් කොට සැලකීම වළක්වාලීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රථම වතාවට හඳුන්වා දීම එහි සුවිශේෂ පියවරකි. එමෙන්ම ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීමට කටයුතු කර තිබෙන අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී.”

කාන්තාව පවුලේ, සමාජයේ මෙන්ම රටේත් ශක්තියයි
– අගමැති දිනේෂ් ගුණවර්ධන

අර්බුදකාරි තත්ත්වයන් හමුවේ නොසැලී කටයුතු කරන කාන්තාව පවුලේ, සමාජයේ මෙන්ම රටේත් ශක්තිය බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ පණිවිඩයේ මෙසේද දැක්වේ:

“සමස්ත ජනගහනයෙන් සියයට පනස් දෙකක ප්‍රතිශතයක් වූ කාන්තාව, රටේ සංවර්ධනයෙහිලා විශාල කැපවීමකින් කටයුතු කරයි. දියණියක, බිරියක, මවක, මිත්තණියක මෙන්ම පුරවැසියක, සමාජ සේවිකාවක ලෙස සිය භූමිකාව නිරූපණය කරන ඇය පාසලේදීත්, නිවසේදීත්, රැකියා ස්ථානයේදීත්, මහමඟදීත් මුහුණ දෙන ගැටලු සම්බන්ධව මෙවැනි අවස්ථාවක අප වඩවඩාත් අවධානය යොමු කළ යුතුයි. සමාජයේත්, පවුලේත් උන්නතිය වෙනුවෙන් සිය දිවි දෙවැනි කොට කටයුතු කරන ඇගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමස්ත සමාජයේම වගකීමකි.

“රටේ සංවර්ධනයට සුවිශේෂ දායකත්වයක් දැක්වුවද, තවමත් මෙරට කාන්තාවන්ගෙන් බහුතරයක් බැංකු ක්‍රමය සමඟ එක් නොවීම කනගාටුදායක තත්ත්වයකි. මේ නිසා රාජ්‍ය හා වාණිජ බැංකු නිර්මාණශීලි වෙමින්, කාන්තාවගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් බැංකු ක්‍රමය හා එක් වීමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.”

කුටුම්බයේ සහ රටේ ජීවනාලිය කාන්තාවයි
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කුටුම්බයේ සහ රටේ ජීවනාලිය කාන්තාව බව කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

එහි මෙසේද සඳහන් වේ:

“මෙවර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීමට හැකි වීම මා ලද භාග්‍යයකි. මවකගේ රැකවරණයත්, සහෝදරියකගේ සෙනෙහසත්, බිරියකගේ ප්‍රේමයත්, දියණියකගේ ආදරයත් එක හා සමානව විඳිමට වරම් ලද මා කාන්තාවක සතු ධෛර්යය, ශක්තිය, අධිෂ්ඨානය කෙබඳුද යන්න හොඳින්ම අවබෝධ කර ගෙන ඇති බැව් පැවසිය යුතුමය.

“අනාදිමත් කාලයක සිට මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පැවතියේ සවිබල ගැන්වූ කාන්තා පරපුරේ ශක්තිය මත බැව් අප සැම පිළිගන්නා කරුණකි. මෙරට සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, ඒ කාන්තාවෝ මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 29%ක සක්‍රිය දායකත්වයක් සලසති. උපන් දා සිට විවිධ භූමිකා හිස දරාගනිමින් ඇය මේ ලෝකය සුන්දර කිරීමට දරන උත්සාහය අපට කිසිදා අමතක කළ නොහැකිය. “එහෙත් අප තවමත් කාන්තාවට සලකනුයේ සාම්ප්‍රදායික අදහස්, මතිමතාන්තර මූලික කර ගෙනය. මේ ආකල්පයෙන් අප මිදිය යුතුය. නිවෙසේදී, මහමඟදී, වැඩබිමේදී ඇයගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතුය. සැබෑ කාන්තා අයිතිවාසිකම් සුරැකෙන්නේ එවිටය.”

සවිමත් කතුන් බිහි කරන්න අවශ්‍ය පනත් සම්මත කරනවා
– කාන්තා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනිය

ශක්තිමත් කාන්තාවක බිහි කිරීමට අවශ්‍ය පනත් ඉදිරියේදී සම්මත කිරීම තුළ කාන්තාවට හිමි රැකවරණය සහ ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙන බව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කරයි. එහි මෙසේ ද දැක්වේ:

“පෙරදිග රටවල කාන්තාව ගෘහ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා නම් කර වෙන් කර තිබූ තත්ත්වයක් අතීතයේ තිබුණත් වර්තමානයේ ඒ සීමා බන්ධන බිඳදමා කාන්තාව පෙරට පැමිණ පිරිමින් හා කරට කර සිටිමින් සියලු වෘත්තීන්හි සම අයිතිවාසිකම් උරුම කරගෙන සිටින බව ආඩම්බරයෙන් සඳහන් කළ යුතුය. කාන්තාවන් දෙපයින් නැඟී සිටීමට හා ශක්තිමත් කාන්තාවක් බිහි කිරීමට කාන්තාවන් සවිබලගැන්වීමේ පනත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත ඉදිරියේදී සම්මත කිරීමෙන් කාන්තාවට හිමි රැකවරණය සහ ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙන බව මෙහිදි කිව යුතුය. ජාතික දේශපාලනය තුළ කාන්තා නියෝජන ප්‍රතිශතය 5.35%ක් පමණ වේ. සියයට 52ක් වන ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රතිශතයෙන් ඒ ප්‍රමාණය සුළුතරයකි. ජාතික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කරගත හැකි බවද මම විශ්වාස කරමි. ලොවක් දිනූ කාන්තාවන් සියලු දෙනාට කාන්තා අපේ ආශීර්වාදය හා ගෞරවය පුද කිරීමට කැමැත්තෙමි.

t

o

p