මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන පැසසුමට

March 7, 2024

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන ඉතා කාර්යක්ෂමව, විධිමත් ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානය විසින් සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඒ එම සන්ධානයේ මධ්‍යම ආදායම්ලාභී රටවල්වල අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඇඩ්රියානා ජිමෙන්ස් කුළුන් (Addriana Jimenez Cuen), මධ්‍යම ආදායම්ලාභී රටවල් වල ජ්‍යෙෂ්ඨ කළමණාකරු ලෙස කටයුතු කරන සොෆී ලා වින්සෙන්ට් Sophie La Vincent යන මහත්මියන් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවූ අවස්ථාවේදීයි.

2003 වසරේ සිට ශ්‍රී ලංකාවේ ළමුන්හට උපතේ සිට ලබා දෙන එන්නත්කරණ වැඩසටහන සදහා නොමිලේ එන්නත් ලබාදීමට තම සංවිධානය කටයුතු කිරීම මෙන්ම 2008 වසරේ සිට ශ්‍රී ලංකාව සඳහා අදාළ එ‍න්නත් සහනදායී මිළකට ලබාදීමට එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානයේ මැදිහත් වීම පිළිබදවද නියෝජිතයින් මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානය ලබාදෙන දායකත්වය ඉතා අගය කොට සලකන බවයි.

එමෙන්ම එන්නත් මගින් වළක්වනු ලබන රෝග බොහෝමයක් ශ්‍රී ලංකාව තුළ මැඩපවත්වා ගැනීමට හෝ ඉතාම අවම තත්ත්වයේ තබා ගැනීමට එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානය ලබාදෙන ආධාර ඉවහල් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

t

o

p