දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන පිළිබදව අවධානය

January 12, 2024

දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නීතිපතිතුමාගේ සහභාගීත්වයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පසුගියදා (09) පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම රැස්වීම පැවැත්වූ අතර පසුගිය දෙසැම්බර් 13 වැනිදා පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස මෙදින සාකච්ඡා කිරීම සිදු විය.

පසුගිය දෙසැම්බර් 13 වැනිදා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ පැවති රැස්වීමේදී රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා දේශිය ආදායම් දෙපාර්තමේන්තු පනතේ සිදු විය යුතු සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. මේ අනුව එදින බදු වාර්තාව, නිලධාරීයා විසින් විගණනය කිරීම සඳහා පවතින පනතේ මාස 30 තිබීම හා ඉන් අනුතුරුව කොමසාරිස් ජෙනරාල් වරයාට අභියාචනා කළ පසු තවත් වසර දෙකක කාලයක් අභියාචනය විභාග කිරීම සඳහා කාලය පවතින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක (02) කාලය වැඩි බවත් එය මාස හයක් (06) දක්වා අඩු කිරීම යෝග්‍ය බවත් එදින සාකච්ඡා කෙරුණි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේද සහභාගීත්වයෙන් යුතුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර පනත සඳහා සංශෝධන ලෙස කොමසාරිස් ජෙනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6 තුළ ලබා දිය යුතුය බවටත් එසේම බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ හැකි බවටත් යෝජනා විය. එසේම බදු අභියාචනා කොමිෂන් සභාව මාස හයක් (06) ඇතුළත තීරණය ලබා දිය යුතු අතර බදු අභියාචනා කොමිෂන් සභාවට බලය ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද මුදලේ පවතින ගණනය කිරීම් දෝෂ සහගත නම් එ් ගැන විභාග කිරීම පමණි. අනෙකුත් නීතිමය ගැටලුවක් පවතී නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකි ආකාරයටත් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා විය.

එසේම බදු අභියාචනය සඳහා පැවති වසර 15 පමණ දීර්ඝ කාලසීමාව වසර 3 දක්වා අඩු කිරීමද මෙම සංශෝධනය මගින් අපේක්ෂා කරන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දෙන ලදි. මීට අමතරව විගණන සමාගම් නියාමනය කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.

තවද බදු අභියාචනා කොමිෂන් සභා පනතට අදාළ සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

t

o

p