19 සංශෝධනයට ශ්‍රීලනිපය සහාය දෙනවා – මෛත්‍රිපාල සිරිසේන

April 19, 2022

සමස්ත ජනතාවම ඉල්ලා සිටින ආකාරයට ආණ්ඩුව ඉවත් වී නව ආණ්ඩුවක් පත්වී 19 වන සංශෝධනය යළි ක්‍රියාත්මක කළ යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.

විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් 19 වැනි සංශෝධනය ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දෙන බවද ඔහු සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියටත්, වර්ථමාන යුගයේ පාර්ලිමේන්තුව විදියටත් අද ඉතාමත් වැදගත් දවසක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වගේම පක්ෂ 11 එකමුතුවත්, පොදුජන පෙරමුණේ පොහොට්ටුව පක්ෂයේ සිටි මන්ත්‍රීවරැ ඇතුලු අපි අද 40ක් විපක්ෂයේ ඇවිත් වාඩි වුණා. විපක්ෂයේ ඇවිත් වාඩි වුණේ විශේෂයෙන්ම අද රටේ පවතින ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය සහ එයින් පැන නැගුණ දේශපාලන අර්බුදය කියන මේ කරැණු ගණනාවක් නිසා. අද රටේ ජනතාව විශාල පිරිසක් බඩගින්නේ ඉන්නවා. පෝලිම් ගැන කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ තිබෙන ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ආණ්ඩුව විසින් අලුත් ඇමති මණ්ඩලයක් පත් කිරීමෙන් මේ තිබෙන ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා වගේම මේ තිබෙන ප්‍රශ්න වලට ප්‍රධාන වශයෙන්ම අපි සියලුදෙනා එකතුවෙලා විසඳුමක් සෙවිය යුතු වෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ හඬ බවට පත්වෙලා තිබෙන්නේ ආණ්ඩුවේ සියලු දෙනාම ඉවත්විය යුතුයි, අලුත් ආණ්ඩුවක් හැදිය යුතුයි කියන එක. ඒ තුල මේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න පුලුවන් කම තිබෙනවා. අපි මේ 40 ඇවිත් වාඩි වුනේ විපක්ෂ නායකතුමාගේ කණ්ඩායමක් ලෙස නොවෙයි. අපි විපක්ෂය තුලත් ස්වාධීන කණ්ඩායමක් ලෙසයි කටයුතු කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම කියනවා 20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි කියලා. ඒ වගේම මගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද 19 වැනි සංශෝධනය නැවත සංශෝධන සහිතව සම්මත කළ යුතුයි. ඒ වගේම අද ජනතාවගේ ඉල්ලීම මේ තිබෙන ආණ්ඩුවේ සියලුදෙනා ඉවත්ව ගොස් නව ආණ්ඩුවක් පත් විය යුතුයි කියලා. ඒ නිසා ඒ සටන් පාඨයටත්, විරෝධතා කරැවන්ටත් අපේ ආශිර්වාදය පුද කරනවා.* යනුවෙන් සඳහන් කළේය.

t

o

p