පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න ට සභාවේ ගෞරවය රකින්නැයි කතානායකගෙන් උපදෙස්

August 4, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඊයේ (03) රීති ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී  සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ආරම්භයේදී අද(04) නිවේදනය කළේය. කථානායකවරයා ඉදිරිපත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදි වේ.

“ඊයේ උදෑසන සභා ගර්භයේදී රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය රීති ප්‍රශ්නයක් මතු කරමින් සභාවේ අවධානය යොමු කොට පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් සතියේ, එනම් 2021 ජුලි මස 20 වන දින බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවති අවස්ථාවේදී ගරු තලතා අතුකෝරල මන්ත්‍රීතුමියට යම් වාචික ලිංගික හිංසනයක් සිදු වන ආකාරයට යම් ප්‍රකාශයක් සභාවේදී සිදු කරන ලද බවත්, ඒ අවස්ථාවේ දී මා මූලාසනය දරමින්, සිනාසෙමින් හා නිහඬව සිටි බවත් ප්‍රකාශ කරන ලදී.

මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර, මා එම අවස්ථාවේදී මූලාසනය නොදරන ලද බව සභාවට දන්වනු කැමැත්තෙමි.

කරුණු නොසොයා සිදු කරනු ලබන මෙවැනි ප්‍රකාශයන්ගෙන් මූලාසනයට අගෞරවයක් වන බව එම මන්ත්‍රීතුමියට මවිසින් දන්වනු ලබන අතර, ඉදිරියේදී සභාවේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන මෙන් දන්වනු කැමැත්තෙමි”

t

o

p