ගුරුවරුන්ගේ ප්‍රශ්නයට ස්ථිරාසාර, සාධාරණ විසදුම තව තෙමසකින් එන අයවැය ලේඛනයයි – අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස්

August 4, 2021

 

මෙරට පාසල් දූ දූදරුවන් හතළිස් ලක්ෂ හැට තුන් දහසක් සිටින අතර  කොවිඩ් -19 වැනි වසංගත සමයක් හමුවේ  ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව නිසා පාසැල්වලට සේවයට වාර්තා නොකිරීම කෙතරම් සාධාරණ දැයි අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය ජී .එල් .පීරිස් මහතා   විමසා සිටියේය .

අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා මෙසේ  සිය අදහස් පළ කළේ, ස්ථාවර නියෝග 27 (02) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නැගූ ගුරු වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුවට සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙමිනි .

ගුරුවරුන් ගේ ප්‍රශ්නයට ස්ථිරාසාර , සාධාරණ විසදුම තව තෙමසකින් එන අයවැය ලේඛනය බවද පැවසූ හෙතෙම  ඉතා ඉක්මනින් අභිනව මුදල් අමාත්‍යවරයා සමඟ තම අමාත්‍යාංශය ට වෙන්වන මුදල්  ප්‍රමාණය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ,  විපක්ෂ නායකවරයා සඳහන් කරන ලෙස එය කිසිසේත්ම තමුන්ට පමණක් අත්තනෝමතික තීරණයක් ලෙස ගත නොහැකි  එකක් බවද සභාවට සඳහන් කර සිටියේය .

පසුගිය රජයේ ජේෂ්‍යඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර අත්දැකීම් ඇති වත්මන් විපක්ෂ නායකවරයා ද  මීට විසඳුම වන්නේ ඉදිරි නොවැම්බර් මාසයේ   මෙම ගරු සභාවට අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාව බව බව හොඳින් දන්නා බව තමන්ගේ විශ්වාසය බවද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

මෙතෙක් , ගුරුවරුන් සඳහා වූ වේතන , කිසිදු අඩුකිරීමකින් තොරව 100%කින් නියමිත පරිදි සිය රජය විසින් ගෙවීමට කටයුතු කර තිබෙන අතර ඊට සාපේක්ෂව පෞද්ගලික අංශය සිය වැටුප් සියයට 40කින් පමණ කප්පාදු කර ඇති බව සදහන් කළ අමාත්‍යවරයා මෙරට ඇති ව තිබෙන තත්ත්වයත් සමඟ  උපයන ආදායම් හීන වීම නිසා එම තත්ත්වය ට මුහුණ දීමට අතමැත්තෙන් හෝ පෞද්ගලික අංශයට සිදුව ඇති බව ද අවධාරණය කළේය .එනමුත් , කොවිඩ්-19 වසංගතය නිසා දේශීය බදු සහ විදේශීය ප්‍රේෂණ අවම වී ඇති සමයක ගුරුවරුන් විසින් මෙබදු ඉල්ලීමක් කිරීම කෙතරම් සාධාරණද සහ මෙමඟින් පළි ගැනීමට උත්සාහ කරන්නේ කවරකුගෙන්ද යන්නද අමාත්‍යවරයා තවදුරටත් විමසීය.

විපක්ෂ නායකවරයා සඳහන් කරන, සුබෝධිනී වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය  විසින් ඉදිරිපත් කළ  එකක් බවද සිය රජය වර්තමානයේ දී ගුරු වැටුප් විෂමතාවයක් පවතින බව පැහැදිලිව  පිළිගන්නා බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ගුරුවරුන් ට මීට වඩා වේතනයක් ගෙවිය යුතු බව ප්‍රතිපත්තියක් ලෙස ද සිය රජය විසින් පිළිගන්නා බව සඳහන් කර සිටියේය . එසේ වුවද මෙම ගැටලුව  විසඳීමේ එය සමස්ත චිත්‍රයක්  ලෙස ගෙන,රාජ්‍ය සේවයේ  සෙසු සමාන්තර සේවාවන්ට බලපෑමක් සිදු නොවිය යුතු පරිද්දෙන්  විසඳාලිය යුතු බවද  මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැහැදිලි කර සිටියේය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසන ගුරු වෘත්තිය සංවෘත සේවාවක් බවට පත් කිරීමේ ගැටලුව සඳහා ඉතා පැහැදිලි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇති බව ද  සිය රජය එම ප්‍රතිපත්තියේ අන්තර්ගතය සහ සංකල්පය පිළිගන්නා බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය .

පවත්නා වාතාවරණය යටතේ ,මාර්ගගත අධ්‍යාපන ක්‍රමය තාවකාලිකව අවශ්‍ය බවත් නමුත් එය සැපයීමට  සැපයීමට වඩාත් සුදුසුම ස්ථානය වන්නේ ඒ සඳහා පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පාසල බව පෙන්වා දුන්  මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා ,පාසැල  පැවැත්වෙන කාලය තුළ විධිමත් විධිමත් සහ ක්‍රමානුකූලව එය සිදුවනු ඇති බවයි.එසේම අද වනවිට මෙරට ගුරුවරුන් ගෙන් 84% පළවෙනි එන්නත් මාත්‍රාව ලබාදී ඇති බවත්  සෞඛ්‍ය නිලධාරීන් ගේ නිර්දේශ සහිතව සියලු ආරක්ෂිත තත්ත්වයන්  පාසැල්වලට සැපයීමෙන් පසුව පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය  පාසැල් ආරම්භ කරන බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය .

තමන් ද මෙරට විශ්වවිද්‍යාලයකින් ප්‍රථම උපාධිය ලබාගත්, වසර 26කට වැඩි කලක් ඉගැන්වූ අභිමානවත්  ගුරු වරයෙකු බව සඳහන් කළ අධ්‍යාපන අමාත්‍ය ජී .එල්. පීරිස් මහතා , විපක්ෂ නායකවරයා සඳහන් කරන පරිදි පාසල් දරුවන්ට පමණක් නොව  කොවිඩ් 19 අභියෝගකාරී තත්ත්වය නිසා වැඩිහිටියන් ටද  ආතතියක් ඇති වීම පොදු  තත්ත්වයක් බවයි . පාසල් දරුවන් මෙම ආතතිගත තත්ත්වයෙන් මිදීමට යෝග්‍යතම ක්‍රමය වනුයේ  පාසල් වෙත යොමු කිරීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙම ගැටලුව පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට යමින් ජාතික ගැටලුවක් ලෙස හඳුනා ගන්නට ආරාධනා කරමිනි.

t

o

p