එක්සත් ජාතික පාක්ෂිකයින්ට නායකයා ඇතුළු නිලධාරින් හමුවීමට දින දෙකක්

January 26, 2021

එක්සත් ජාතික පාක්ෂිකයන්ට පක්ෂ නායකත්වය ඇතුළු නිලධාරීන් හමුවීමට සතියට දින දෙකක් වෙන් කිරීමට එජාපය  තීරණය කර තිබේ.


මේ අනුව ලබන මාසයේ සිට සෑම සතියකම අඟහරුවාදා සහ බදාදා  පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අදාළ මහජන දින පවත්වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.


පාක්ෂිකයන් හමුවීමෙි පළමු  වැඩසටහන පෙබරවාරි 2 දා(අඟහරුවාදා)පෙරවරුවේ සිට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙයි. අදාල දිනයන්හි දවස පුරා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ,නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,මහා ලේකම්  පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන් ඇතුළු  සියලුම නිලධාරීන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැඳී සිට  ජනතාව හමුවීමට තීරණය කර ඇත.


එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ ගමෙන් ගමට සංචාරය කිරීමේ දී බිම් මට්ටමේ  පාක්ෂිකයන්ගෙන් ලැබුණු චෝදනා සහ අදහස්වලට ඇහුම්කන් දීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගත් බව පාලිත රංගෙ බණ්ඩාර මහතා කීය.


පක්ෂ නායකත්වය ඇතුළු නිලධාරීන්  තමනට  සම්බන්ධ කරගැනීමට නොහැකි යැයි ජනතාවගෙන් චෝදනා එල්ල වූ බව කී රංගේ බණ්ඩාර මහතා පක්ෂ සංවිධායකවරුන්ට, පළාත් පාලන මන්ත්‍රීවරුන්ට මෙන්ම සාමාන්‍ය  පාක්ෂිකයන්ටත් සෑම සතියකම අඟහරුවාදා සහ බදාදා දින වල දැන්  එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් හමුවීමට  අවස්ථාව තිබෙන බවද කීය.


ජනතාවගේ ප්‍රශ්න ගැටලු සමීපව හඳුනාගෙන ඒවාට සෘජුවම මැදිහත් වීම සඳහා කටයුතු කරන බව ද රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

t

o

p