එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් අකිල ස.ජ.බ ට යන්න සාකච්ඡා

December 15, 2020

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සම්බන්ධවීමට සියළු කටයුතු සුදානම් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් එ.ජා.ප හිටපු මහ ලේකම්වරයා හා ස.ජ.බ කණ්ඩායම අතර පැවැත්වී තිබේ. එහි අවසන් සාකච්ඡාව කොළඹ ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ නිවසේ ඉකුත් සතියේ පැවැත්වී ඇති අතර ඊට ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වි ඇත.

සමගි ජන බලවේගයේ යම් තනතුරක් ඔහුට ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා එකග වී ඇති අතර පක්ෂයේ නව ව්‍යවස්ථාවට සකස් කරන බැවින් ඉන් පසුව තනතුර කුමක් දැයි දැනුම් දෙන බව ට ද දන්වා තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය කාල වකවානුව තුළ නායක රනිල් වික්‍රමසිංහ සමග ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් ගැටුමක් ඇති කරගත් අතර එය මේ වන විට දුරදිග ගොස් ඇතැයි වාර්තාවේ. හිටපු මහලේකම්වරයා සිය හිතවතුන් සමග පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට දැන් අනාගතයක් නැති බැවින් තමට ද එහි සිටිමෙන් ඵලක් නැති බවයි. තමන් මහලේකම්ධූරයෙන් ඉවත්වූවේද එම පදනමෙන් බව ඔහු පවසා ඇත.

සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව දෙසැම්බර් අග හෝ ජනවාරි මුල් සතියේ ජනගත කිරිමට නියමිත අතර එම උත්සවයේදි චම්පික රණවකට හා ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිධූර පිරිනැමීමට නියමිතය. එදිනට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් එක් කර ගැනීමට ස.ජ.බ කණ්ඩායම මේ දිනවලට සාකච්ඡා පවත්වමින් සිටින අතර එහි එක් පියවරක් ලෙස අකිල විරාජ් කාරියවසම් ද එදිනට ස.ජ.බ සාමාජිකත්වය ගැනීමට නියමිත බව වාර්තාවේ.

t

o

p