වාහන අංක තහඩුවට මින් පසු පළාත් ඉංග්‍රීසි අකුරු නැහැ

December 15, 2020

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී වාහනය ලියාපදිංචි කෙරෙන පළාත ඇතුළත් ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීමට ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කාබන් විමෝචන පරීක්ෂණ සහ වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවන පරිදි, පළාත් හඳුනා ගැනීමේ  ඉංග්‍රීසි අකුරු දෙකක් වාහනයේ අංක තහඩුවට එක් කරනු ලැබ තිබිණ. එහෙත් වාහනයේ හිමිකරු වෙනස් වන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කළ යුතු බැවින් පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වේ.

ලියාපදිංචි කරන ලද සෑම වාහනයකටම වෙනමම අංකයක් නිකුත් කර ඇති බැවින්, එක් එක් වාහනයේ අනන්‍යතාවය දෙපාර්තමේන්තු දත්ත පදනම හරහා පහසුවෙන් හඳුනාගත හැකිවේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් හඳුනාගැනීමේ පහසුව ස‍ඳහා ඇතුළත් කරන ලද අකුරු ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

t

o

p