දික්වැල්ල හිරිකැටිය වෙරළ තීරයේ සංචාරකයන් සඳහා ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් සියල්ල ප්‍රදේශ වාසීන්ගේ බලවත් විරෝධතාවය මැද බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී.
මේ සඳහා දික්වැල්ල පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සලසා තිබිණි. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් මෙසේ අදහස් දැක්වූහ.
ඒ. පී කරුණාවතී මහත්මිය-
මම දෙදරු මවක්. දුව විවාහ වී වෙන් වෙලා. පුතා සහ ස්වාමියා සංචාරකයන්ට සර්ෆින් බෝඩ් බදු දෙන එකයි කරන්නේ. ඒවායේ ආරක්ෂාවට මඩුවක් ගහගෙනයි තිබුණේ. අපි කලින් කළේ කොහු කර්මාන්තය. දැන් ඒවා කරලා වැඩක් නැහැ. කොහුමඩුව තිබුණු තැනයි අපි මෙම ලෑලි තියාගෙන හිටියේ. මීට අමතරව සංචාරකයන්ට බීම බෝතලයක් තැඹිලි ගෙඩියක් විකුණලා කීයක් හරි හොයාගන්නවා. සමෘදි ණය අරගෙන තමයි මේ වැඩ කටයුතු කළේ.දැන් ණය ගෙවා ගන්න ක්‍රමයක් නැහැ.
කොරෝනා ආපු කාලේ ඉඳලම අපිට ආදායමක් නැහැ. අපේ කඩවල් ඉවත් කරනවට අපි විරුද්ධයි. දික්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් අපිට මේ වසරේ මැද භාගයේ දී මුදල් අයකර බලපත්‍රයක් ලබා දුන්නා. ඒ නිසා අපේ වෙෙළඳාම කරගෙන යන්න වෙන තැනක් අපට ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඩී.ජී.චමින්ද ප්‍රසාද් මහතා-
මීට වසර ගණනාවකට පෙර මම තමයි මුලින්ම මේ වෙරළ තීරයට සර්ෆින් බෝඩ් ගෙනාවෙ. ඒ වෙනකොට මේ වෙරළ තීරයට සංචාරකයෝ ආවේ ඉතාමත් අඩුවෙන්. දැනට පවුල් දහයක් පහළොවක් පමණ සංචාරකයන්ට පහසුකම් සැපයීමෙන් ජීවත් වෙනවා. මේ ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමට අපි විරුද්ධයි. අපි ඉල්ලා සිටින්නේ විධිමත් ක්‍රමයකට මෙම ව්‍යාපාර ගෙන යාමට ක්‍රමයක් සලස්වන ලෙසයි. ඒ වෙනුවෙන් රජයට බද්දක් ගෙවන්න වුණත් අපි සූදානම් කොරෝනා නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩාල වුණ.
හෙන්රි අලහප්පෙරුම මහතා
මම වසර ගණනාවක සිට සංචාරකයන්ට අවශ්‍ය කෑම සකසා දෙනවා. ඒ සඳහා ලෑලි සහ පොල් අතු යොදාගෙන ගොඩනැඟිල්ලක් සාදා තිබුණා. මේ සඳහා දික්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් මුදල් ගෙවා බලපත්‍රයක් ලබාගෙන තියෙනවා.
අපි නීති විරෝධී නම්, ඇයි බලපත්‍රයක් ලබා දුන්නේ. වෙරළ සංරක්ෂණයෙන් හෝ වෙනත් කිසිම ආයතනයකින් අපිට මේවා ඉවත් කරන බවට පෙර දැනුම් දීමක් කළේ නැහැ. එහෙම කළා නම් අපි මේවා සුරක්ෂිතව ඉවත් කරගන්නවා.දැන් අපේ බඩු මුට්ටු විනාශ වීමෙන් විශාල අලාභයක් සිදු වුණා. අපි මේ ඉවත් කිරීම් වලට විරුද්ධයි.
ගොඩනැඟිලිවලට අමතරව වැල්ල අයින දිගේ තිබුණු පොල් ගස් ඉවත් කළා. ඒවා අවුරුදු විස්සක් පමණ පැරණි පොල් ගස් එක් ගසක් පීදිලයි තිබුණේ . පොල් ගස් නිසා වෙරළ ඛාදනය වැළකී තිබුණා. දැන් දැන් වෙරළ ඛාදනය වී අපේ ගෙවල් දොරවල් පවා විනාශ වෙන්න ඉඩ තියෙනවා. මේ වෙනුවෙන් නීතිය පිහිට පතන්නට මං අදහස් කරනවා
රමණි අබේසුරිය මහත්මිය
මට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. මගේ ස්වාමිපුරුෂයා මීට වසර කිහිපයකට ඉස්සර මුහුදු ගිහින් නැති වුණා එක් දරුවෙක් ආබාධිතයි. සංචාරකයන්ට මොනවා හරි විකුණලා තමයි අපි ජීවත් වුණේ. කොරෝනා නිසා ඒවා අඩාල වුණා. දැන් සියල්ලම නැති වුණා.
අපට ජීවත් වෙන ක්‍රමයක් නැහැ. සර්ෆින් බෝට් එකක් හරි තියාගන්න තැනක් අපිට සකසා දෙන්න. අපි අතරමං කරන්නේ නැතිව. සංචාරක කර්මාන්තය නගා සිටුවන්න කිසියම් වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනව.