වරාය පරිශ්‍රය කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමට පියවර

March 21, 2020

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික කොට්ඨාශයේ හා ක්‍රියාකරවන කොට්ඨාශයේ සේවකයින් කෝවිඞ් 19 වෛරසයෙන් ආරක්‍ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් නොමැති බව සඳහන් කරමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපතිවරයා වෙත යොමු කොට ඇති ලිපියක කරුණු පදනම් කර ගනිමින් එම සංගමය විසින් මාධ්‍ය වෙත යොමු කොට ඇති ප්‍රවෘත්තියේ කරුණු සාවද්‍ය හා පදනම් විරහිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය තරයේ දන්වා සිටී.

කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තියේ ආරම්භයේ සිට මේ දක්වා එහි නිවාරණය සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීමට ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කොට ඇත. 

ඒ සඳහා අවශ්‍ය සියළු කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති අතර, මේ සඳහා අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා මහතාගේ මූලිකත්වයෙන් යුතුව කමිටුවක් ද පත් කොට ඇත. 

ඒ අනුව සියළු කොට්ඨාශ ප්‍රධානීන් වෙත ඒ ඒ කොට්ඨාශ සඳහා අවශ්‍ය නිවාරණ කටයුතු වෙනුවෙන් ක්‍රියාකිරීමට අවශ්‍ය උපදෙස් එමගින් ලබා දී ඇත.  ඒ අනුව කෝවිඞ් 19 වෛරසයේ නිවාරණයට අදාල සෞඛ්‍යාරක්‍ෂිත ද්‍රව්‍ය හා භාණ්ඩ මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ද සලසා ඇත. 

එමෙන් ම නාවික හා මෙහෙයුම් කොට්ඨාශ සඳහා පමණක් නොව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියළු කොට්ඨාශ වල අත්‍යවශ්‍ය හා දෛනික රාජකාරියේ නියුතු සියළු සේවක මහත්ම මහත්මීන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව ද වැඩිදුරටත් දන්වා සිටිමු.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වගකිව යුතු ආයතනයක් ලෙස සිය සේවකයින්, වරාය පරිහරණය කරන්නන් හා සේවා දායකයන් ගේ ආරක්‍ෂාව වෙනුවෙන් සියළු ක්‍රියාමාර්ග ගෙන ඇති අවස්ථාවක තම පටු පරමාර්ථ වෙනුවෙන් ආයතනයේ කීර්ති නාමයට හානි වන ලෙස පළ කරනු ලබන සාවද්‍ය පුවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් තරයේ ප්‍රතික්‍ෂේප කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඞ් 19 වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඇති මොහොතක, අද ලෝකයටත්, අපේ රටටත් මෙයට මුහුණ දීම අලුත් අත්දැකීමක් වන අතර, එය එසේ ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ට ද නවතම අත්දැකීමකි.  අලුත් අත්දැකීමකට මුහුණ දෙන විට පැන නගින අලුත් තත්ත්වයන් ට අවස්ථානුකූලව පිළිතුරු සොයා ගත යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරීත්වය විසින් ආයතනයේ අදාල පර්ශවයන් වෙත අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම මේ වන විටත් ලබා දී තිබේ.

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය සෞඛ්‍ය සේවය හා නාවික හමුදාව ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  රාජකාරීන් වලට සම්බන්ද සියළු දෙනාගේ සහයෝගය උපරිමයෙන් මේ දක්වා ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියළුම සේවකයින්, වරාය භාවිතා කරන්නන් හා සේවා දායකයන්ගේ ද ආරක්‍ෂාව තහවුරු වන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් කළ යුතු සේවාව ද ‘උපරිම මට්ටමෙන් ඔබ්බට’ ගොස් මේ වන විට ඉටු කරමින් සිටී.

මෙවන් ආපදා අවස්ථාවක දී සියළු දෙනා උපරිම කැපකිරීමකින් රාජකාරි ඉටු කරන අවස්ථාවක සිදුවිය හැකි හෝ සිදුවන කුමන හෝ සුළු අතපසුවීමක් හෝ අඩුපාඩුවක් යම් කිසි අභ්‍යන්තර හෝ භාහිර පාර්ශවයක් විසින් උළුප්පා දක්වන විටක දී එම කරුණු මාධ්‍යයේ පළ කිරීමට ප්‍රථම, අප ආයතනයේ වගකිව යුතු බළධාරියෙකුගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා බලා තහවුරු කර ගැනීමෙන් පසු මෙවැනි ප්‍රවෘත්ති පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එමෙන් ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් වගකිව යුතු මාධ්‍ය ආයතන විසින් නිරන්තරයෙන් අප වෙත ලබා දෙන සහයෝගය ද කෘතඥ පූර්වක ව මේ මොහොතේ අගය කර සිටිමු.

t

o

p