තුන්කල් දුටු ගාමිණී

March 21, 2020

මාර්තු මස 21 වන දිනට යෙදෙන ගාමිණී දිසානායක ඡන්ම සංවත්සරය නිමිත්තෙන්

වර්ෂ 1947හි මාර්තු මස 21වන දින  කන්ද උඩරට ප්‍රභූ පවුලක ඡන්ම දායාදය ලබන ලයනල් ගාමිණි දිසානායකයන්ට උපතින්ම පුළුල් දේශපාලන උරුමයක් හිමිවිය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකු වන එතුමන් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සපුරාලීමෙන් අනතුරුව නීතිඥ වෘත්තිය තෝරාගනු ලැබීය. ස්වකීය පරපුරේ උරුමයට වඩා  උපතින්ම ගෙන ආ සුවිශේෂි නායකත්ව ගුණාංගයනුත්, විශිෂ්ඨ බුද්ධියත් හේතුවෙන් ඔහුට ලාංකීය දේශපාලනයේ සාදානුස්මරණීය  ජාතික නායකයෙකු ලෙස ස්වර්ණමය සටහනක් තැබීමට හැකි විය.

ගාමීණි දිසානායක නාමය යෝධ මහවැලි ව්‍යාපාරය සමඟ සාදාතනිකව ශේෂ වී තිබුණද, එතුමන් ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අද්විතීය දේශයක් ලෙස ඔසවා තැබීම සඳහා නිවැරදි දැක්මකින් යුතුව සෑම ක්ෂේත්‍රයකටම අදාල ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ ඉතිහාස ගමන්මඟ වෙනස් කළ නායකයෙකු ලෙස හඳුනාගත හැක.

කඳුකරයෙන් ඇරඹි ගලා ගිය ජල මුලාශ්‍ර කෘෂිකර්මය නංවාලීමෙන් ඔබ්බට ගොස් බහුවිධ අරමුණු සඳහා යොදා ගැනීමේ ප්‍රශස්ත දිසානායක දැක්ම තුළින් අදත් ජාතියක් ලෙස කෘෂිකර්ම හා බලශක්ති ක්ෂේත්‍රයන්හි අප ලබන ප්‍රතිලාභ බොහෝය. 2004 වන විට රට සහලින් ස්වංපෝෂිත වනුයේ කඩිනම් මහවැලිය තුළින් දැමු සවිමත් පදනම නිසාය.

ඉතිහාසය පුරා වසර දහස් ගණනක් තුළ ගොඩනැගුණු කෘෂිකර්මය මූලික කරගත් රජරට ශිෂ්ටාචාරය යළි පුබුදුවනු ලැබුවේ ගාමීණි දිසානායකයන් නායකත්වය දුන් මහවැල් ව්‍යාපාරයෙනි. එය කෘෂිකර්මය පිළිබඳව රජරට ගොවියා තුළ සිදී යමින් තිබු ධෛර්යය යළි අවදි කළේය.

ගාමිණි දිසානායකයන් දුටු මහවැලිය පරිපුර්ණ ස්වයංපෝෂිත ජීවන රටාවකි. මහවැලි කලාපයන්හී ආගමික, සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා ආදී සෑම අංශයක්ම එකිනෙකට සමගාමීව සංවර්ධනය කිරිමට එතුමන් විදිමත් සැලැස්මක් සකස් කළේය. වසර 30ක මහවැලි සැලැස්ම පස් අවුරුදු  කඩිනම් ව්‍යාපෘතියක් ලෙස  නිම කිරිම කිසිසේත්ම පහසු ඉලක්කයක් නොවීය. බොහෝදෙනෙකුට අනුව එදා එය සිහිනයක් පමණක් විය.

කඩිනම් මහවැලි ව්‍යාපාරය  කෙරෙහි සුභවාදී ආකල්පමය වෙනසක් ඇති කිරිම ප්‍රධානතම අභියෝගයක් ලෙස නිවැරදිව හඳුනාගත් ගාමිණි දිසානායකයන් මානව විද්‍යාත්මක ප්‍රවේශයක් සහිතව ශක්තිමත් සන්නිවේදන සැලසුමක් සකස් කළේය. මහවැලිය හා ජන ජීවිතය බද්ධ කිරිමට හැකි වුයේ ඒ  එතුළිනි. 

80 දශකයේ ප්‍රබලතම සන්නිවේදන මාධ්‍ය වු ගුවන්විදුලිය මේ සඳහා උපයෝගි කරගනිමින් මහවැලි ගුවන්විදුලි ගොවි සේවාව සමස්ත රට වැසියන් තුළම මහවැලිය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු ජනිත කරවීමේ වගකීම ඉටුකළේය. මහවැලිය වෙනුවෙන් සිය සාම්ප්‍රදායික ගම්බිම් හැරදා අළුත් ජනපද සොයාගිය ගැමියන් කළ කැපවීම බත-බුලතින් ස්වයංපෝෂිත දේශයක් වෙනුවෙන් කළ උතුම් පරිත්‍යාගයක් බව සෑම අවස්ථාවකදීම ගාමිණි දිසානායකයන් විසින් හැඳින්වීය.

අද දවසේත් රටේ බලශක්ති ප්‍රභවයන්ට විසල් දායකත්වයක් සපයනුයේ මහවැලි සංවර්ධන ව්‍යපාරය යටතේ ඉදිකළ ජල විදුලි බලාගාරයන්ය. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුඔය, උල්හිටිය, රත්හිඳ, ලුණුගම්වෙහෙර යන බලාගාර නවයක් මහවැලිය යටතේ ඉදිකරවා පණ ගන්වනු ලැබීය.

බලශක්ති සැපයුම ඉහළ නැංවීම කාර්මික දියුණුවකට අවශ්‍ය ප්‍රධානතම සාධකය බව එතුමන් නිරන්තරයෙන් පැවසීය.  එම දැක්ම රටේ ගමන්මග වෙනස් කළේය. ගාමිණි දිසානායක මැතිතුමන් ශ්‍රී ලාංකික තරුණයාට මුහුණදීමට සිදුවන අනාගත ලෝක අභියෝග විනිවිද දැකීමට සමත් වු  තුන්කල් දුටු  නායකයෙකි.

 ලෝක ශ්‍රම වෙළඳපලට  අලෙවි කළ හැකි  අද්විතීය ශ්‍රමිකයෙක් බිහි කිරිමේදී ග්‍රාමීය උගත් තරුණයා මුහුණදුන්  ප්‍රධානතම ගැටළුව එතුමන් මැනවින් දුටුවේය. පාසල් වියේ සිටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය ඇති කිරිමේ වැදගත්කම සෑමවිටම පෙන්වාදුන් එතුමන් සිය මන්ත්‍රී වැටුප හා පෞද්ගලික මුදල් යොදවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ දූදරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කීරිමට  මහත් වෙහෙසක් දරා කටයුතු කළේය.

මෙරට වාර්ගික ගැටළුව පිළිබදව සෘජු දුරදර්ශි පදනමක පිහිටා කටයුතු කළ නායකයෙක් ලෙස ගාමිණි දිසානායක මැතිඳුන් හඳුන්වාදිය හැක. දේශපාලන වශයෙන් ජනප්‍රිය තීන්දු ගැනීමට වඩා ස්වකීය හෘදසාක්ෂියට එකඟව දුෂ්කර තීන්දු ගැනීමට එතුමන් පසුබට නොවීය.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුණු අවස්ථාවේදී ඉවසිලිවන්ත, පරිනත  රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නිර්ව්‍යාජ බව ගාමිණි දිසානායක චරිතය තුළින් මැනවින් ප්‍රකට විය. ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රිඩාවේ ටෙස්ට් තත්වය  දිනාගැනීමේදී ද එතුමන් සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම කිසිදා අමතක කළ නොහැකි වනු ඇත.

ගාමිණි දිසානායකයන් සෑම තරතිරමකම මිනිසුන් සමඟ සබදතා පැවැත්වීමේදී අතිශයින්ම ප්‍රියජනක චරිතයක් විය. ප්‍රතාපවත් පෞර්ෂය, විශිෂ්ඨ භාෂා ඥානය, බුද්ධිය හා චතුර කථිකත්වය එතුමන්ට ආභරණ විය. වචන කිහිපයකින් එක් සිනහවකින් අන්‍යනයන් දිනාගැනීමේ පුදුමාකාර හැකියාවක් එතුමන්ට තිබිණි. ඒ සුවිශේෂ හැකියාව පිටුපස තිබු රහස සැබෑ මානව දායාව බව මා විශ්වාස කරමි.

අවුරුදු 52ක ස්වකීය කෙටි ජීවිත කාලය තුළ ගාමිණි දිසානායකයන් අප මාතෘභූමියට දිනාදුන් දේ බොහෝය. රටත්, ජනතාවත් වෙනුවෙන් දැවැන්ත ඉලක්ක හඹායමින්   දිවා රෑ  නොබලා වෙහෙසුණු මෙම සුවිශේෂි ජන නායකයා තුළ කිසිවිට විඩාබර මුහුණක් දක්නට නොවීය.

සෑම මොහොතකම  දීප්තිමත් දෙනෙතින්, පුළුල් සිනහවෙන් සැරසුණු මුවෙන් අප මාතෘභූමිය වෙනුවෙන් සිහින හඹා ගිය ගාමීණි දිසානායක නාමය ලක්ෂ සංඛ්‍යාත  ගොවිබිම් තෙමා  ගලන මහවැලි මහා නදියෙහි සෑම දිය දෝතකම රැදී පවතිනු ඇත.

කරු ජයසුරිය

t

o

p