ජෝන් අමරතුංග මැතිතුමාට පක්ෂය වෙනුවෙන් හොද විනයක් තිබෙනවා – අගමැති

March 1, 2019

PM in LNP 2

ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2019.02.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කථාව.

ජෝන් අමරතුංග ඇමතිතුමාත්, මමත් දේශපාලනයට පැමිණියේ එකම කාලයකදීයි. 1970 වසරේ එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පක්ෂ නායකත්වය යටතේ පෝල් පෙරේරා මහතා සමඟ නීතීඥ සංගමය සංවිධානය කිරීම මට භාර දී තිබුණා. ජෝන් අමරතුංග මහතා එදා එම මූලික කටයුතු වලට සම්බන්ධ වූ නීතිඥවරයෙක්. එතුමා පක්ෂයේ සෑම වැඩකටයුත්තකටම සම්බන්ධ වුණා. මෙතුමා 1976 ජා ඇල අතුරු මැතිවරණයේ අපේක්ෂකත්වය ඉල්ලා සිටියත් එය ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාට ලැබුණා.

නමුත් කිසිම ගැටළුවකින් තොරව ජෝන් අමරතුංග මහතා ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් කදාන ප්‍රදේශයේ වැඩ කටයුතු කළා. එකල මම සිටියේ ඊට යාබද වල්පොල ප්‍රදේශයේ. එනිසා අපි එකට වැඩ කළා. ඇත්ත වශයෙන්ම 1977 ඡන්දෙදි වත්තල මෙන්ම කැළණියේ සිරිල් මැතිව් ඇමතිතුමාටත්, බියගම මා ඇතුළු අප සියලූ දෙනාටම ජෝන් අමරතුංග මැතිතුමා විසින් නීතිඥ සහාය ලබා දුන්නා. එතුමා ද සංස්ථා සභාපතිවරයෙක් ලෙස පත්වුණා.

ජෝන් අමරතුංග මැතිතුමාගේ පාර්ලිමේන්තු ජීවිතය දෙස බැලීමේ දී එතුමා 78 ව්‍යවස්ථාවට වඩා සති 6ක් බාලයි. මන්ත්‍රීවරුන් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් අපි එක්ව වැඩ කළා. එසේම ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා යටතේ ද අපට වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. එතුමා කැබිනට් ඇමතිවරයෙක් වුණා. මම අගමැති වුණා.  විශේෂයෙන්ම අපිට වගකීම් පැමිණියේ අපේ පරාජයෙන් පසුවයි. එහිදී එජාපය ආරක්ෂා කරන්න ඉදිරියට ගෙනියන්න එතුමා ඉදිරිපත් වුණා.

මෙහිදී මට මතක් වන්නේ එක දවසක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ මම ජෝන් අමරතුංග මැතිතුමාගේ නිවස පසුකර වාහනයේ ගමන් කරන විට ජනාධිපතිතුමා නිවස දෙසට ඇගිල්ල දිගු කර ජෝන් අමරතුංග පවුල වසර 200 කට වැඩි ඉපැරණි පවුලක් යැයි පැවසුවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේදීත්  අමරතුංග පරම්පරාව එහි ජීවිත්ව සිටි බව එතුමා පැවසුවා. 1815 ලෙස එම නිවසේ සටහන් කර තිබෙනවා.

පවුලේ ඉතිහාසය අමතක නොකරමින් ජෝන් අමරතුංග මැතිතුමා අදටත් නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නේ කදාන සම්ප්‍රදායට අනුවයි. එය එතුමගේ ජනපි්‍රයත්වයට එක හේතුවක් බව මා කියන්න කැමතියි. එතුමා මුලින්ම  පොලිසිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කළා. දැනට සංචාරක අමාත්‍යවරයා ලෙස විශාල සේවයක් කරනවා. එසේම මෙතුමා එදා මෙදා අපේ පක්ෂයට විශාල සේවයක් සිදු කරමින් සෑම කටයුත්තකටම සහභාගි වුණා.

ජෝන් අමරතුංග මැතිතුමා, කථානායක කරූ ජයසූරිය මැතිතුමා  නැසීගිය ගාමිණි අතුකෝරල වැනි මන්ත්‍රීවරු ගණනාවක් එදා පක්ෂය වෙනුවෙන් බර ඉසුලූ නිසා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වුණා. ඒ වෙනුවෙන් මම ජෝන් අමරතුංග මැතිතුමාට ස්තුතිය පළ කරනවා. එතුමාටත් වඩා තදබල එක්සත් ජාතික පාක්ෂිකයෙක් මෙහි සිටිනවා. ඒ හයිසින්ත් අමරතුංග මැතිනිය. අපි එතුමියටත් ස්තුතිවන්ත වෙනවා. ජෝන් අමරතුංග මැතිතුමාට පක්ෂය වෙනුවෙන් හොද විනයක් තිබෙනවා. කතෝලික පල්ලිය නිසා තමාට විනය තිබෙන බව එතුමා සෑම විටම පවසනවා.

කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී කරන කතා වලිදීත් එතුමා තම විනය ප්‍රදර්ශනය කරනවා. එසේම එතුමා ප්‍රතිපත්ති ගරුකව වැඩ කරනවා. ඩී. එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ සිටම අපේ පක්ෂයට විනයක් ප්‍රතිපත්තියක් තිබුණා. එම චරිත ශක්තිය ගෙවුණු 40 වසරක දේශපාලන ඉතිහාසය තුළ ජෝන් අමරතුංග මැතිතුමා සතුව තිබුණා. ඕනෑම පක්ෂයකින් දේශපාලනයට එන අයට එතුමා හොද ආදර්ශයක්.

දේශපාලන ගමන් මගේ අපි හොද මිතුරන්. එම මිත්‍රත්වය තුළින් සහ එතුමාගේ සහයෝගයෙන් මට ඉදිරියට යෑමට හැකි වූ බවද මම මෙහිදී සඳහන් කරන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් හා ගම්පහ ජනතාව වෙනුවෙන් මා එතුමාට යලි ස්තුතිවන්ත වෙමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

t

o

p