පෝට් සිටි නැවත ආරම්භ කරනවා

December 3, 2015

චීන සමාගමක් සමග ආරම්භ කරන ලද දැනට අතරමග නවතා ඇති පෝටි සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එය නවතා ඇත්තේ ඒ පිළිබඳ වන පාරිසරික වාර්තාව ලැබෙනතුරු මාස 6 ක කාලයකට යයි අමාත්‍යවරයා කියා සිටියේ අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙහිදී ඇවැන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරමින් විමසා ඇත්තේ ඇවන්ට්ගාඩ් සමාගම රජයට පවරා ගැනීමෙන් පසු ලැබුණු ආදායම කෙබඳුද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පළමු දින 6 තුළ පමණක් අ.ඩො පන් ලක්ෂ විසි පන්දහසක ආදායමක් ලැබුණු බවත්, ඒ අනුව දිනකට රු.එක්කෝටි විසි පන් ලක්ෂයක පමණ මුදලක් අයවිය යුතුව තිබුණත් ඉකුත් කාලයේ රජයට ලැබී ඇත්තේ දිනකට රු.ලක්ෂ 25 ක පමණ ආදායමක් පමණක් බවත්ය.

ඇවන්ට්ගාඩ් සිද්ධියේ අක්‍රමිකතාවක් සිදු නොවුණු බව කියාපෑමට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් රජයේ අමාත්‍යවරුන් තිදෙනෙකුට උපදෙස් ලබාදී තිබුණු බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ අතර මාධ්‍යවේදියෙකු ඇසූ තවත් ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රජයේ වෛද්‍යවරුන් ඊයේ දිනයේ තමන් සමග කළ කතා බහේදීත් අද දිනයේ වැඩවර්ජනයකට යන බව නොකියූ බවයි.

එසේ වුවද අද උදෑසනම ඔවුන් වැඩවර්ජනයක් දියත් කර ඇති බවත්, වාහන පර්මිට් එක වෙනුවට රු. මිලියනයක් ලබාදීම ඔවුන්ගේ පාර්ශවයෙන් සලකා බැලුවද වාසි සහගත බවත්, එසේ තිබියදී මොවුන් වැඩවර්ජනය කිරීම කනගාටුදායක බවත් ඔහු සඳහන් කළේය.

ගිය වසරේදී මේ ආකාරයෙන් තීරු බදුරහිත වාහන ගෙන්වීමේ බලපත්‍ර 50,000 ක් ලබාදී තිබුණු බවත්, එයින් බිලියන 80 ක පමණ ආදායමක් රටට අහිමිවුණු බවත් සේනාරත්න මහතා කියා සිටියේය.

මේ අතර හිටපු එල්.ටී.ටී.ඊ රැඳවියන් මුදාහැරීම සම්බන්ධයෙන් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ 2010 වසරේදීද ප්‍රබල චෝදනා පැවති එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 95 දෙනෙකු නිදහස් කරලීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේ කටයුතු කර ඇති බවයි.

මෙවර නිදහස් කරලීමට අපේක්ෂා කර ඇත්තේ වසර ගණනාවක් තිස්සේ රැඳවුම් බාරයේ සිටින නමුත් චෝදනා ගොනු නොකරන ලද හා සුළු සුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම මොවුන් සම්බන්ධයෙන් වැරදි ඇත්නම් චෝදනා ගොනුකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත්, එසේ චෝදනා ගොනු කරනු නොලැබුවහොත් ඔවුන් නිදහස් කිරීමට සිදුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p