හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකරන ලෙස දැනුම්දීමක්

May 26, 2020

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්‍ෂයෙන් නාමයෝජනා බාර දී එක්සත් ජාතික පක්ෂයට නැවත එක් වීමට කැමැත්ත පළ කර සිටින හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට ඊයේ (25) දැනුම් දුන්නේය.

සමගි ජන බලවේගයෙන් නාමජෝජනා භාර දුන් අපේක්‍ෂක ලැයිස්තු ලේඛන මේ වන විට ගැසට් කර ඇති අතර වෙනත් පක්ෂයකින් නාමයෝජනා දීම පමණක්ම සැලකිල්ලට ගැනීම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කිරීමට ප්‍රබල හේතුවක් වෙතියි එක්සත් ජාතික පක්‍ෂ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය.

සමගි ජන බලවේගයෙන් නාමයෝජනා දී යලි එක්සත් ජාතික පක්ෂයට එක් වීමට කැමැත්ත පළ කර සිටින හිටපු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්  පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කරනු ලැබූ පක්‍ෂ ජේෂ්ඨයින් සමඟ සාකච්ජා වට කීපයක්ම පවත්වා ඇතැයි සිරිකොත ජේෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයට එකතුවන මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා වන ආකාරයට ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ ජේෂ්ඨයින් ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්ද මේ වන විටත් නම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයට පිටුපා සමගි ජන බලවේගයට නාම යෝජනා දුන්  හිටපු මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් යලි පක්ෂයට ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ ජේෂ්ඨයන් ගෙන් දිගින් දිගටම එල්ල වන බලපෑම පිළිබඳවද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධානය යොමු කරනු ඇතැයිද සිරිකොත ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

අංජුල මහික වීරරත්න

t

o

p