යාපනය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට

September 12, 2019

ඉදිරි වසර 05 ඉලක්ක කර ගනිමින් යාපනය දියුණු කිරීම සඳහා නව සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය.

මෙම නව සංවර්ධන සැලැස්ම යාපනයේ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡා කොට සකස් කළ බවත්, එය ක්‍රියාත්මක කිරීම තුළින් යාපනයේ පූර්ණ සංවර්ධනයක් ඇති කොට ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම තම අරමුණ බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව, යාපනය නගර සභා පිටියේ පැවැති ජන හමුවකදීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ නව බස් නැවතුම්පොළ නිරීක්‍ෂණය කරමින් එහි ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බලනු ලැබීය. අනතුරුව යාපනය නගර ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ද අග්‍රාමාත්‍යතුමන්ගේ සුරතින් සිදුවිය.

යාපනය, කොටුවේ පැවැත්වෙන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනය ද වික්‍රමසිංහ මහතා විසින් නිරීක්‍ෂණය කළේය.

නගර සභා පිටියේ පැවති ජනහමුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

අද දින යාපනය නගර ශාලා ගොඩනැගිල්ලට මුල්ගල තබමින් එහි ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කළා. මෙම ගොඩනැගිල්ල යාපනයේ ඉදිවෙන විශාලම හා අලංකාරම ගොඩනැගිල්ල බව කිව යුතුයි. නල්ලූර් කෝවිල වගේම මෙම ගොඩනැගිල්ලත් යාපනයේ ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් බවට පත්වේවි. මෙම ගොඩනැගිල්ල නාවීකරණය යාපනය නගර සැලසුමේ වැදගත් කොටසක් බව කිව යුතුයි. එම සැලැස්ම පිළිබඳව පාඨලී චම්පික රණවක ඇමැතිතුමා මෙහිදී සඳහන් කළා. එතුමා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් නව නගර ඇති කිරීමටත් බස්නාහිර පළාතේ මහා නගර ඇති කිරීමටත් කැපවීමෙන් යුතුව වැඩකටයුතු සිදු කරන බව කිව යුතුයි. ඒ වෙනුවෙන් පාඨලී චම්පික රණවක ඇමැතිතුමාටත් එම අමාත්‍යංශයටත් මගේ ස්තුතිය පළ කරනවා.

යාපනය නගරාධිපති ආර්නෝල්ඩ් මැතිතුමා කළ ඉල්ලීම් නිසා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් ඉක්මනින් ආරම්භ කිරීමට හැකි වුණා. යාපනය යළි ගොඩනැගීමට ක්‍ෂණිකව ක්‍රියා කරන එවැනි දක්ෂ පුද්ගලයන් අපට වුවමනා වෙනවා. යුද්ධය නිසා මේ නගරය විනාශ වුණා. ආණ්ඩුවක් වශයෙන් 1987, 1995, 2002, දී  සාමය ඇතිකිරීමට කටයුතු කළත් ඒ සියල්ලම අසාර්ථක වුණා.

එදා මේ ප්‍රදේශය නියෝජනය කළ මහේෂ්වරන් ඇමතිතුමා කළ සේවයත් සිහිපත් කළ යුතුයි. මුදල් වෙන්කර ගනිමින් මෙම ප්‍රදේශයේ හැකි සෑම දියුණුවක්ම ඇති කිරීමට එතුමා කැපවීමෙන් යුතුව කටයුතු කළා. තොන්ඩමන් ආරු කෝවිලේ උත්සවයට හා කෝවිලට අවශ්‍යව තිබූ වේල් කරත්තය අළුතින් ලබාදීමට එතුමා ක්‍රියා කිරීම මගේ මතකයේ තවමත් රැදි තිබෙනවා.

යුද්ධ සමයේ මඩකලපුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශ දියුණුවට පත්වුණත් යාපනයේ දියුණුවක් තිබුණේ නැහැ. ඒ නිසා 2015 වසරේ අප බලයට පැමිණීමත් සමඟ ශ්‍රී ලාංකීය සංස්කෘතියේ වැදගත් නගරයක් වන යාපනය යලි ගොඩනැගීමට තීරණය කළා. ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවගේ කේන්ද්‍රස්ථානය වශයෙන් නල්ලූර් නගරය පත්ව තිබුණා. එම මාලිගාවන්හි නටඹුන් තවමත් දැකගත හැකියි.

පාඨලි චම්පික රණවක ඇමතිතුමා ඉදිරිපත් කර තිබෙන නගර සැලසුම අනුව මෙම නගරය දියුණු කිරීමට අප ක්‍රියාකරන බව සඳහන් කරන්න කැමතියි.

ඉන්දීය ආධාර යටතේ ඉදිවෙන සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ අවසන් වූ පසු එය විවෘත වීමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දීය රජයට මාගේ ස්තුතිය පළකරනවා. මෙම නගර ශාලාව ඉදිකිරීමට කටයුතු කළ ආකාරයටම පොදු වෙළඳ සංකීර්ණයටත්, රථ වාහන ගාල් කිරීමේ ගොඩනැගිල්ලකුත් සිරස් ගොඩනැගිලි ඉදිකිරීමටත් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ තුලින් යාපනය නගරය නව යාපනය නගරයක් බවට පරිවර්තනය වෙනවා. 

පසුගිය වසර 05ක කාලය තුල යාපනය නගරය දියුණු කිරීම ආරම්භ වුණා. අප බලයට පත්වී පළමු වසර දෙකක කාලය තුල අපට නොයෙකුත් දෝෂාරෝපණ එල්ල කළා. ඒ කාලය තුල ගත් තීරණවල ප්‍රතිඵල ජනතාවට  දැන් ලැබෙමින් තිබෙනවා.  මෙම සංර්ධනයත් සමග යාපනයේ රැකියා අවස්ථා බිහි වෙන ආර්ථිකයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමග ආර්ථික  සංවර්ධනයක් ඇති කිරීමට අප කටයුතු කරනවා.

පලාලි ගුවන්තොටුපල, යාපනය ගුවන්තොටුපල ලෙස නම්කර ඉන්දීය ගුවන් සේවා ඇතිකිරීමෙන් පසුව කලාපීය ගුවන් සේවා ඇතිකිරීමටත් අප කටයුතු කරනවා. ඒ හරහා සංචාරකයින්ගේ පැමිණීම වැඩිවී සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇතිවෙනවා. යාපනය දූපත් සඳහා සංචාරකයින් ගෙන්වා ගැනීමට වෙනම සැලසුමක් සකස් කරමින් සිටිනවා. ඒ වගේම කංකසන්තුරේ වරාය දියුණුකර සිමෙන්ති සංස්ථා භුමියේ කර්මාන්ත ආයෝජන කලාපයක් ඇතිකිරීමට කටයුතු කරනවා.

ඒ වගේම නව තාක්ෂණය මුසුවූ කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට පියවර ගන්නවා. තොරතුරු තාක්ෂණය ව්‍යාපාර ඇතිකිරීමටත් සැලසුම් කර තිබෙනවා. කිලිනොච්චිය සහ පුනරින් දියුණු කිරීමට විශාල වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. නව ව්‍යාපාර ඇතිකිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට  අවම වශයෙන් රුපියල් බිලියන 100ක පමණ නව අරමුදලක් හඳුන්වාදීමට අපි පියවර ගන්නවා.  ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් ඇති  කිරීමට සැලසුම් සකස් කර  ගතයුතු තීරණ පිළිබදව සාකච්ඡා කරමින්  තිබෙනවා.  මෙම සියලූ කටයුතු තුලින් යාපනය යලි නගාසිටුවන බව කියන්න කැමතියි.

මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. ධීවර කර්මාන්තය ගැඹුරු මුහුදේ සිදුකළ හැක  ආකාරයට දියුණු කිරීමට අපි පියවර ගන්නවා. යාපනය නගරය දියුණු කිරීමට මෙවැනි සැලසුමක් මීට පෙර හෝ කිසිම අයෙක් ඉදිරිපත්කර තිබුණේ නැහැ. ඒ නිසා එම සැලසුම යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඔබේ සහාය මම ඉල්ලා සිටිනවා

එම සහයෝගය සමඟ  සියලූ දෙනාම අත්වැල් බැදගෙන  නව යාපනයක් බිහි කිරීමට එක්වෙන ලෙස සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවන්ට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඊ. ආර්නෝල්ඩ්, යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

t

o

p