ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින සියලු ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර

March 18, 2014

Repatriation of Indian fishermans

අන්තර්ජාතික මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තවත් ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු හෙට (19) නිදහස් කරන බව නාවික හමුදාව පවසයි.

මේ අනුව ඊයේ (17) සිට නිදහස් කරනු ලබන ධීවරයින් ගණන 172ක් වේ.  ඊයේ ධීවරයින් 116 දෙනෙකු යාපනයේ දී නිදහස් කරන ලද අතර ඔවුන් සමඟ අත්අඩංගුවට ගනු ලැබ තිබුණු ධීවර යාත්‍රා 26ක් ද ඒ සමඟ ම නිදහස් කෙරිණි. වයඹ නාවික නෞකා විධානය මඟින් මන්නාරමට ඔබ්බෙන් ශ්‍රී ලංකා මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබූ ධීවර යාත්‍රා 5ක් සමඟ ධීවරයින් 24 දෙනෙකු ද මන්නාරම් අන්තර්ජාතික මුහුදු සීමාවේ දී ඊයේ නිදහස් කර තිබේ. ඒ අනුව නිදහස් කර ඇති ධීවරයින් ගණන 140ක් වන අතර නිදහස් කළ ධීවර යාත්‍රා ගණන 31කි.

ඊයේ යාපනයේ බන්ධනාගාරයෙන් නිදහස් කරන ලද ධීවරයින් සහ ධීවර යාත්‍රා කන්කසන්තුරේ වරායේ සිට නාවික සැතපුම් 15.5ක් ඈත දියඹේ දී නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙත භාරදෙනු ලැබිණි. ඉන්දීය වෙරළාරක්ෂක නෞකා වන “අභීක්” සහ “රාජ්තරංග්” යන යාත්‍රා කන්කසන්තුරේ සිට රැගෙන ආ ධීවරයින් සහ යාත්‍රා භාරගත් අතර මන්නාරමේ සිට ගෙන ආ ධීවරයින් සහ යාත්‍රා ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන “රාජ්කමල්” වෙත බාර දෙනු ලැබීය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ “රණවික්‍රම” නෞකාව සහ මුරසංචාරක යාත්‍රා දෙකක් ද ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ “CG 43” and “CG 48” යන යාත්‍රා ද මෙම මානුෂීය මෙහෙයුමට එක් වූ බව නාවික හමුදාව පවසයි.

හෙට (19) යාපනය බන්ධනාගාරයේ සිටින තවත් ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නිදහස් කරනු ලබන අතර ඔවුන් සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා 8ක් ද නිදහස් කරන අතර ඒ අනුව මුහුදු සීමා උල්ලංඝනය කිරීම නිසා ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත ව සිටි සියලු ම ඉන්දීය ධීවරයින් නිදහස් කෙරෙන බව ද නාවික හමුදාව පවසයි.

මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවර යාත්‍රා 14ක් තවමත් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ තිබෙන අතර ඒවා සමඟ අත්අඩංගුවට ගෙන සිටි ධීවරයින් මීට පෙර නිදහස් කර ගුවන් මඟින් ඉන්දියාවට ගොස් තිබේ. මෙම යාත්‍රා 14 එහි අයිතිකරුවන් පැමිණි පසු භාරදෙන බව ද නාවික හමුදාව පවසයි.

දැනට දකුණු ඉන්දියාවේ අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කරන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණ ද ඉන්දීය බලධාරීන් ඒ සම්බන්ධව නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනතෙක් දැනුවත් කර නොමැති බව ද වාර්තා වේ.

ඡායාරූපවල දැක්වෙන්නේ ඊයේ නිදහස් කරනු ලැබූ ධීවරයින් යාපනය බන්ධනාගාරයේ සිට කන්කසන්තුරේ වරාය වෙත ගෙන ආ අවස්ථාව සහ ඔවුන් ආපසු යාමට ලෑස්තිවන ආකාරය හා නිදහස් කර ඇති ධීවර යාත්‍රා වේ.

Courtesy: Department of Government Information

 

Repatriation of Indian fishermans 1

Repatriation of Indian fishermans 2

Repatriation of Indian fishermans 3

Repatriation of Indian fishermans 4

The Editor

Previous story Next story

Leave a comment

t

o

p