කච්චතිව් දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යයට පන්දහසකට අධික බැතිමතුන් එක් වේ

March 16, 2014

Kachchathivu_3

කච්චතිව් දූපතේ ඓතිහාසික දේවස්ථානයේ සාන්ත අන්තෝනි මුනිතුමන්ගේ දිව්‍යමංගල්‍යය වෙනුවෙන් අද (16) පෙරවරුවේ ආරම්භ වූ දිව්‍ය මෙහෙය සඳහා ඉන්දියානු හා ශ්‍රී ලාංකික බැතිමත්හු පන්දහසකට වැඩි පිරිසක් දූපතට එක් ව සිටියහ.
සිංහල හා දමිළ කිතුනු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන මෙම ශාන්ත අන්තෝනි දේවස්‌ථානය යාපනය අගරදගුරුතුමා යටතේ ඩෙල්ෆ් දූපතේ කිතුනු දේවස්‌ථානය මඟින් පාලනය කෙරෙන අතර අද පෙරවරුවේ පැවති දේවමෙහෙය ඩෙල්ෆ් දූපතේ මීසම් පාලක අමල්රාජ් ඥානප්‍රකාසම් පියතුමා සහ රාමේෂ්වරම් මීසම් පාලක සහායරාජ් පියතුමා ඇතුළු ශ්‍රී ලාංකීය පූජක උතුමන් සහ ඉන්දීය පූජක උතුමන්ලා විසින් පවත්වන ලදහ.

මෙම දේවමෙහෙයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, යුද හමුදාපති මේජර් ජෙනරාල් දයා රත්නායක, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා, වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රවි විජේගුණවර්ධන, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්සලර් ආර්. රවීන්ද්‍ර, උතුරු නාවික විධානයේ ආඥාපති ආර්.ඒ. දිසානායක මහතා ඇතුළු නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද යාපනය දිසා විනිසුරු ආනන්ද රාජා සහ කයිට්ස් දිසා විනිසුරු සෙල්වනායගම් ලෙනින් මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

අද උදෑසන වනවිට ඉන්දීය යාත්‍රා 95කින් ඉන්දීය බැතිමතුන් 3128 දෙනෙකු සහ යාත්‍රා 89කින් ශ්‍රී ලාංකේය බැතිමතුන් 2151 දෙනෙකු ද කච්චතිව් දූපතට පැමිණ සිටින බව නාවික හමුදාව පවසයි.

කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 45ක පමණ (කිලෝ මීටර් 82ක් පමණ) දුරකින් ඉන්දීය සාගරය මැද පිහිටි වර්ග කිලෝ මීටර් 1.15කින් (අක්කර 285) සමන්විත කච්චතිවු දූපත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, අගමැතිනිය ව සිටි සමඟි පෙරමුණ රජය සමයේ (1974 දී) එවකට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරිය ව සිටි ඉන්දිරා ගාන්ධි මැතිනිය විසින් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් පවරා දෙනු ලැබිණි. මෙම දූපත අන්තර්ජාතික සමුද්‍රසීමාවේ සිට නාවික සැතපුමක (1.8 කිලෝ මීටර්) දුරින් පිහිටා තිබෙන අතර එය යාපනය දිස්ත්‍රික්කයට අයත් වන අතර ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ පාලනයට නතු වන දූපතකි.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ අධීක්ෂණය යටතේ මෙවර වාර්ෂික මංගල්‍යය අති උත්කර්ෂවත්ව පැවැත්වීමට නාවික හමුදාව සියලු විධිවිධාන සලසා තිබුණි.

පෙර වර්ෂවලදී මෙන් මෙවරද ජීවිත ආරක්ෂක කණ්ඩායම් සහ යාත්‍රා, වෛද්‍ය පහසුකම්, මෙන්ම බැතිමතුන්ට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, විදුලිබලය,  තාවකාලික මාවත්, තාවකාලික ජැටි හා මහජන ඇමතුම් පද්ධතියක්ද නාවික හමුදාව මඟින් සපයා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.

විශේෂයෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව කච්චතිව්, දූපතට ආසන්නයේ ඇති ඉන්දු – ලංකා නාවික මුහුදුසීමා‍වේ ද ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. තම පෞද්ගලික යාත්‍රාවලින් ද බැතිමතුන් මංගල්‍යයට සහභාගී වන අතර එම යාත්‍රා පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර දූපතට ඇතුළුවීමට විශේෂ ජැටි සකස් කර තිබුණි.

Courtesy: Department of Government Information

Kachchathivu

kachchativu__

Kachchathivu_5

Kachchathivu_1

 

Kachchathivu_2

Kachchathivu_2

The Editor

Previous story Next story

Leave a comment

t

o

p