ග්‍රාමීය ජනතාවගේ ජීවිතය ඉහළ නංවන්න මේ වසරට බිලියන 708ක් වෙන් කළා

February 8, 2017

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට 2017  වසරේදී රුපියල් බිලියන 708ක් වෙන්කර ඇතිබව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

2016 වසරේදී රුපියල් බිලියන 301 ක මුදලක් වැයකළ රජය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 28649ක් සම්පූර්ණ කර ඇති බවද හෙතෙම පැවසීය.

වත්මන් රජය විදේශ ණය ආධාර ලබාගනිමින්ද ග්‍රාමීය සංවර්ධනය සිදුකරන බවත් පැවසූ අගමැතිවරයා කඩමන්ඩියේ සංවර්ධනය වෙනුවෙන් රජය මහබැංකුව හා තවත් බැංකු 16ක් සමඟ එක්ව සිදුකරන බවත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා විසින් ග්‍රාමීය  යටිතල පහසුකම් සඳහා වෙන් කළ මුදල් හා ව්‍යාපෘති මෙන්ම  2017 වසරේ ග්‍රාමිය යටිතල පහසුකම් සඳහා වෙන්කළ මුදල කොපමණ ද යන්න සම්බන්ධයෙන්  විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා:-

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කියලා මාධ්‍ය සංදර්ශන නැති වුණාට අපේ රජය ගමට විශාල සේවයක් කර තිබෙනවා. ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙනත් රජයක් ක්‍රියාත්මක නොකළ වැඩකොටසක් අපට කරන්නට හැකිවී තිබෙනවා. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 28649ක් 2016 වසර තුළ දී ක්‍රියාත්මක කර තිබෙනවා. වසර 2016 දී ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට හා ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් 1250ක් සඳහා මුදල් වෙන් කර තිබෙනවා.  ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 28649ක් 2016 වසර තුළ දී ක්‍රියාත්මක කර තිබෙනවා.

සුළු වාරිමාර්ග ව්‍යාපෘති 9843ක් ප්‍රජාමූලික ජල සම්පාදන ව්‍යාපෘති 1045ක් සුළු පරිමාන ග්‍රාමීය විදුලි ව්‍යාපෘති 33ක් ග්‍රාමීය මාර්ග බෝක්කු තැනීම වැනි ග්‍රාමීය ප්‍රවේශ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති 26000ක් හා වෙනත් යටිතල පහසුකම් 1437ක් තිබෙනවා. එම සංවර්ධන වැඩසටහන් සඳහා විදේශ ආධාර වශයෙන් 2015 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක මුදලකුත් 2016 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක මුදලකුත් ලැබී තිබෙනවා. අපි විදේශ ණය අරගත්තේ ගමට යවන්නයි. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සහ මහාපරිමාණ කර්මාන්ත සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 708කට අධික මුදලක් වෙන්කර ඇති අතර එම මුදල් දේශීය අරමුදල් වලින් හා විදේශ ආධාර හරහා ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

ග්‍රාමීය යටිතල සංවර්ධන වැඩසටහන මගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක්. ගමට සංවර්ධනය යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කඩිනම් වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය නිලධාරී කොට්ඨාශ 1305ක යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කළ මුදල රුපියල් බිලියන 3300ක්. 2016 වසරේ දී මෙම වැඩසටහන හරහා ග්‍රාමසේවක කොට්ඨාශ 2600ක ජීවත් වන ජනතාවට සහන සැළසීමට අපට හැකි වී තිබෙනවා.ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වර්ධනය කර දෙමින් ඔවුන්ගේ ආර්ථික ඵලදායිතාව නංවාලීමට හා ජීවන තත්ත්වය නඟාසිටුවීමට අපට හැකි වී තිබෙනවා. ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම රැකියා උත්පාදනය ඇති වී තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කියලා මාධ්‍ය සංදර්ශනයක් හරහා ගම්මැදි තිබ්බෙ නැති වුණාට අපේ රජය මේ වැඩසටහන් හරහා ගමට විශාල සේවයක් කර තිබෙනවා. ඒ බව ගම්වල මිනිසුන් දන්නවා.

t

o

p