සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානයෙන් කොළ එළියක්

February 16, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය අකිහිකෝ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම මෙහිදී ආචාර්ය ටනකා අකිහිතෝ මහතාගේ ඇගයීමට ලක් විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපාන රජය සහ ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනය සූදානමින් සිටින බව ආචාර්ය අකිහිතෝ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p