අභියෝග කළේ හිටපු ජනාධිපතිට මිස බන්ධුලට නොවේ : හැකිනම් අධිකරණයට යන්න

March 3, 2017

අධිකරණය හමුවට යා යුත්තේ බැඳුම්කර නිකුත් කිරීමේ දී දූෂිත ආකාරයට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපතිවරයා මිස අනුගාමිකයන් නොව බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යළි අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැවැති ආණ්ඩුවේ වෙනත් අමාත්‍ය ධුර දැරූ බන්ධුල ගුණවර්ධන හෝ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් අධිකරණය හමුවට යාමෙන් පළක් නොවන බවයි.

බැඳුම්කර නිකුත් කිරීමේ දී දූෂිත ආකාරයෙන් කටයුතු කළ බවට තමාට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා කියා සිටියේ ය. මුදල් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ හැකි නම් නීතිමය පියවර ගන්නා ලෙසයි. එහෙත් ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් තමා අධිකරණය හමුවට යන බව ප්‍රකාශ කර සිටියේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (03) මේ බව කියා සිටියේ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා –

“එල්ල වෙලා තියෙන චෝදනා බොරු නම් අධිකරණයට යන්න කියල මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළා. ඔහු කිවුව යනව කියල. ඒකට බන්ධුල ගුණවර්ධණ, ජී.එල්. පීරිස් වගේ අය උත්තර දීල හරියන්නෙ නැහැ. මේ ප්‍රශ්නෙ ඇහුවෙ වර්තමාන මුදල් ඇමැතිවරයා විදියට මමයි. ඒකට උත්තර දෙන්න ඕනෙ හිටපු මුදල් ඇමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතායි. එයා තමයි මේ ගැසට්වලට අත්සන් තබන්නෙ. ඒ නිසා උසාවි යන්න කියල මම යළිත් කියනවා. එහෙම උසාවි යන්න පදනමක් නැති නිසා තමයි, මේ වෙන වෙන අය ලවා විවිධ ප්‍රකාශ නිකුත් කරන්නෙ.” යැයි ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද සහභාගී වී සිටියේ ය.

t

o

p