ගම්මන්පිලට එරෙහිව ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් සාක්ෂි දෙයි

March 1, 2017

උදය ගම්මන්පිල විසින් මෙරට සිටි කීර්තිමත් විදෙස් ආයෝජකයෙකුගේ වත්කම් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදාගනිමින් කූට ලෙස වංචාකිරීමෙන් රටේ කීර්තිනාමයට කැළලක් ඇති වූ බවත් ඒ තුළින් විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳව තබා තිබූ විශ්වාසය හා බලාපොරොත්තු බිඳ වැටීමට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

තමන් මේ සම්බන්ධයෙන් බ්‍රයන් ෂෙඩික් මහතා සහ ජෙනට් ෂෙඩික් මහත්මිය සමඟ පෞද්ගලිකවම සාකච්ඡා කළ බවත් උදය ගම්මන්පිලගේ වංචාව පිළිබඳ සියළු තොරතුරු තමන් ඔවුන්ගෙන් දැන ගත් බවද මන්ත්‍රීවරිය පවසයි. මේ පිළිබඳව තමන් විවිධ අවස්ථාවලදී අදහස් දක්වා ඇති බවත්, විශේෂයෙන් පාර්ලිමේන්තුවේදීද කරුණු දක්වා ඇති බවද සඳහන් කළ මන්ත්‍රීවරිය, අද වන විට එම සියළු කරුණු ඔප්පු වී ඇති බවත් එම සියළු කරුණු අනුව උදය ගම්මන්පිලට නුදුරේදීම ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදාගනිමින් අන්සතු වත්කම් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ දඬුවම් විඳීමට සිදුවනු ඇති බවද පවසයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්වී ඔහුගේ ව්‍යාපාර කොටස් අයථා ලෙස පරිහරණය කිරීම හා ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර යොදාගනිමින් විකුණා දැමීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විරුද්ධව බ්‍රයන් ෂෙඩික් මහතාගේ ලංකාවේ ඇටෝර්නි බලකරු වන ලසිත පෙරේරා විසින් පවරා ඇති නඩුව අද(01) කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එහිදී උදය ගම්මන්පිලගේ වංචාවට ලක් වූ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් මහතා සහ ඔහුගේ බිරිඳ ජෙනට් ෂෙඩික් මහත්මියද අද සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයට කැඳවා තිබුණි.

එහිදී සාක්ෂි දෙමින් බ්‍රයන් ෂෙඩික් මහතා සඳහන් කර සිටියේ, සිඩ්නි ජයසිංහ නැමති අය සමඟ තමන් ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කල බවත්, සිඩ්නි ජයසිංහගේ පුත්‍රයා මාර්ගයෙන් උදය ගම්මන්පිල නැමැත්තාව තමන් හඳුනාගත් බවයි. ඒ අනුව සිඩ්නි ජයසිහලේ ඉල්ලීම මත තමන්ගේ ව්‍යාපාර කටයුතු වල සේවකයෙක් ලෙස උදය ගම්මන්පිලට රැකියාවක් ලබාදුන් බවද බ්‍රයන් ෂෙඩික් මහතා සඳහන් කර සිටියේය. තමා යටතේ සේවය කළ 400 ක් පමණ වූ සේවකයන් අතර උදය ගම්මන්පිලද එක් සේවකයෙක් පමණක් බවද බ්‍රයන් ෂෙඩික් මහතා පවසයි.

ගම්මන්පිල විසින් යොදාගෙන තිබෙන ඇටොර්නි බලපත්‍රය ව්‍යාජ එකක් බවත් තමන් කිසි දිනෙක උදය ගම්මන්පිලට බලය පවරා ඇටෝර්නි බලපත්‍ර නිකුත් කර නැති බවද බ්‍රයන් ෂෙඩික් මහතා සඳහන් කර සිටියේය. තවද, එම ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයේ යොදා තිබෙන අත්සන් තමාගේවත් තම බිරිඳගේවත් නොවන බවද බ්‍රයන් මහතා සඳහන් කර සිටියේය.

එසේම මෙම ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබෙන තමා යටතේ සේවය කල දෙදෙනාගේ අත්සන් ව්‍යාජ ඒවා බවද එය ඔවුන්ගේ අත්සන් හා නොගැලපෙන බවද බ්‍රයන් ෂෙඩික් මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේය.

t

o

p