ඉරාන තේ අපනයන සම්බාධක අර්බුදයට කඩිනම් විසඳුම් සොයන්න – අගමැති

October 3, 2018

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබෙන සම්බාධක ක්‍රියාත්මකවීමත් සමඟම ඉරානයට තේ අපනයනය කිරිමට නොහැකි වීමෙන් උද්ගත වන ආර්ථික අර්බුදයට කඩිනමින් විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ගයන් රජය ආරම්භ කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුත්ත ක්‍රියාත්මක කෙරේ.
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබෙන සම්බාධක ක්‍රියාත්මක වන නොවැම්බර් මාසයේ සිට තේ අපනයනය කිරීමට අදාළ ණයවර ලිපි නිකුත් කිරිම සම්පූර්ණයෙන්ම ඇන හිටින බව රජය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් තේ කිලෝ මිලියන 27 ත් 30 ත් අතර ප්‍රමාණයක් එනම් 15% ක පමණ ප්‍රමාණයක් මිළදි ගන්නේ ඉරානය විසිනි.
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට තේ යැවීමට හැකි විකල්ප රටවල් සොයාගැනීමට දැඩි අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල සඳහන්ය.
සෝවියට් දේශයෙන් බිදිගිය රටවලට ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිරීමේ හැකියාව පිළිබඳවද වැවිල් කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සාකච්ඡා ආරම්භ කර ඇත.
දිගු කලක් මුළුල්ලේ ශ්‍රී ලංකා තේ මිලදී ගත් ඉරානායට පැමිණෙන සම්බාධක සමඟ මෙරට තේ කර්මාන්තය කඩා වැටීම වළැක්වීමට අවශ්‍ය විකල්ප සොයනා ලෙස අගමැතිවරයා නවින් දිසානායක මහතාට වැඩි දුරටත් උපදෙස් දුන්හ.

t

o

p