දින 14 ක් තුළ ගැටලු විසදා ගන්න කතානායක කොමිසමට හා පොලිස්පතිට දැනුම් දෙයි

September 7, 2018

ජාතික පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා අතර පවතින ගැටලූ දින 14 ක් තුළ සම්පූර්ණයෙන්ම විසදාගෙන දින 14 ක් තුළ දැනුම් දෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙපාර්ශවයට නියම කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි අද (07) රැස්වූ අතර එහිදි මෙම දැනුම් දීම කර තිබේ. පොලිස්පතිවරයා හා ජාතික පොලිස් කොමිසම අතර පවතින ගැටලු නිරාකරණය කිරිම සඳහා දෙපාර්ශවයම ව්‍යවස්ථාදායක සභාව විසින් කැදවා තිබුනි.
ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සියලූ සාමාජිකයන්ද පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද ව්‍යවස්ථාදායක සභාව හමුවේ පෙනි සිට ඇත. එහිදි ජාතික පොලිස් කොමිසම ඉදිරිපත් කර තිබු වාර්තාවන් සහ පැන නැගී ඇති පරිපාලනමය ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබේ.
රැස්වීම ආරම්භයේදීම, කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා බිහිකිරීමේ ප්‍රධානතම පරමාර්ථය මහජනතාවට සමීප මූලික ආයතන දේශපාලනයෙන් වියුක්තිව කටයුතු කරන බවට තහවුරු කිරීම බවයි.
විශේෂයෙන්ම ජාතික පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා අතර කටයුතු කිරිමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කර ඇති අතර දැනට නොවිසදී මතුව ඇති ගැටලූ සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කර ඇති බව කතානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව දැනට නොවිසදී ඇති සියලූ ගැටලූදින 14 ක් තුළ සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරිමට කටයුතු කරන ලෙස මෙහිදි ජාතික පොලිස් කොමිසමට හා පොලිස්පතිට දැනුම් දි ඇත.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වකීය නිල කාලය අවසන් වන ඒ ඒ කොමිෂන් සභාවන් සඳහා නව සාමාජිකයන් පත් කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වී තිබේ.

t

o

p