මහින්ද ලකුණ යටතේ ජනතාවාදී ආණ්ඩුවක් ගොඩ නඟන්න පෙළ ගැසෙමු ; දැන තමයි හොඳම වෙිලාව

May 22, 2017

අගෝස්තුවේ කල් ඉකුත් වෙන හවුල් ආණ්ඩු කැද හැලියෙන් ඉවත්ව මහින්ද ලකුණ යටතේ ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම සදහා පෙළගැසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට දැන් කාලය උදා වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමාට කළ හැකි ලොකුම ගෞරවය එක්සත් ජාතික පක්ෂය සමග ගෙවන හවුල් ආණ්ඩු දීගය අතහැරීම බව පෙන්වා දුන් රණතුංග මහතා අපේ ආණ්ඩුවක් වෙනුවෙන් කොට අදින ඕනෑ අයකුට එම ආණ්ඩුව යටතේ පෙරහැරේ යාමට ඉඩ ලැබෙන බවත් කොට නොඇද පෙරහැරේ යාමට නම් මෙවර කිසිවකුටත් ඉඩක් නොලැබෙන බවත් අවධාරණය කළේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සාමජිකයන් උඩුගම්පොළ දී 20 දා හමු වූ අවස්ථාවේ දීය. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙලා තියෙන්නෙ ශෝචනීය ඉරණමක්. 1956 දී බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා වගේ කට්ටිය එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. එතුමා එ. ජාප යෙන අයින් වුණේ එම පකෂයේ ප්‍රතිපත්ති පිළිගන්න බැරි වුණ නිසයි. බණ්ඩාරනායක මැතිතුමා නිදහස් පක්ෂය බිහි කළේ පොද ජනතාව වෙනුවෙන්.

බණ්ඩාරනායක මැතිතුමා පංච මහා බලවේගය පෙරටු කරගෙන පොදු ජනතාව වෙනුවෙන් නිර්මාණය නිදහස් පකෂය අද අවස්ථාවාදීන්ගේ තෝතැන්නක් බවට පත් වෙලා. අද ඉන්න නායකයෝ තමන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා කියලා කිව්වට පාක්ෂිකයන්ට ඒ ගැන විශ්වාසයක නැහැ. මොකද බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා කියන නායකයන්ම තමයි නිදහස් පක්ෂය අලියගෙ වලිගේ ගැට ගහලා තියෙන්නේ.

නිදහස් පක්ෂය හැමදාම ආණ්ඩු හැදුවේ වාමාංශික පක්ෂ සමග එකතුවෙලයි. හැබැයි කවදාවත් ජනතා ද්‍රෝහී ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂය සමග අපි එකතු වුණේ නැහැ. ඒකට එක හේතුවක් තමයි අපේ පක්ෂය අනුගමනය කරන ජනතාවාදී ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමග නොගැලපීම. අනෙක තමයි අපෙ පක්ෂය ආරම්භයේ පටන්ම එ. ජා. පය අපට කරප කෙනෙහිලිකම්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිපුරම බැට කෑවේ එක්සත් ජාතික පක්ෂයෙන්. අද අපේ සමහරු සර් සර් කියන අයම තමයි අපේ පාක්ෂිකයනගේ කන්වලට බෝල් පොයින්ට පෑන් ගහලා වධකාගාරවල වද දුන්නේ. අපේ නායකයෝ වැද වැටෙන සමහරු තමයි අපේ පාක්ෂිකයන් ටයර් සෑයවල්වල යැව්වේ. වෙන එකක් ඕනේ නැහැ අපේ තාත්තට පිහියෙන් ඇනලා ගේ ගිනි තිබ්බෙත් ඔය එ. ජා. පයේ අය තමයි.

එදා පොළොන්නරුවේ මිනිස්සු අපේ පක්ෂය වර්තමාන සභාපතිවරයා වන මෛත්‍රීපාල මහත්තයා වෙනුවෙන් වැඩ කරනකොට එක්සත් ජාතික පක්ෂයෙන් කොයිතරම් ගුටි කන්න ඇතිද? කොයිතරම් ජීවිත පරිත්‍යාග කරන්න ඇතිද? එහෙම ජීවිත පරිත්‍යාගයෙන් වැඩකරපු මෛත්‍රීපාල මහත්තයා අද එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ කරට අත දාගෙන, පක්ෂ සංවත්සරවලට යනකොට අපේ පාක්ෂිකයන්ට මොනව හිතෙනවා ඇතිද කියලා හිතලා බලන්න.

ඒක තමයි ගම්වල ඉන්න අපේ පාක්ෂිකයෝ පක්ෂයේ නායකයාව අතහැරලා මහින්ද මහත්තයා වටා එකතු වෙලා ඉන්නේ. මිනිස්සු දන්නවා මහින්ද මහත්තයා කවදාවත් පාක්ෂිකයන් පාවා දෙන ජාතියේ කෙනෙක නෙමේ කියලා. මිනිස්සුන්ට ඕනේ කොන්ද පණ තියෙන නායකයෙක්. එහෙම නැතුව තමන්ගේ විරුද්ධවාදීයාට කොන්ද නමන නිවටයෙක් නෙමෙයි. ඒකයි අපේ පක්ෂයේ මිනිස්සු මහින්දවම හොයාගෙන යන්නේ.

තමන්ටත් තමන්ගේ පාක්ෂිකයන්ටත් කරපු වදහිංසා අමතක කරලා අපේ පක්ෂයේ නායකයන් එක්සත් ජාතික පක්ෂ පිළිකන්නේ ඉදුල ලෙවකෑවට අපේ පාක්ෂිකයන් එතැනට වැටෙන්න සූදානම් නැහැ. බලලෝභය ඉහට ගැහුවාම සමහරුන්ට උන්හිටිතැන අමතක වෙනවා. අපේ පක්ෂයෙන ගිහින් ඇමැතිකම ගත්තු සමහරුන්ටත් වෙලා තියෙන්නේ ඒකයි. අද ඒ අය එ. ජා. පයේ කටු සූප්පු කරන ගමන අපිට බනිනවා.

අපිට කොන්ද පණ තියෙන නිසයි අපි අපේ පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදී විපක්ෂයට වෙල ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය ගැන විවේචනයක් තියෙනවා නම් කරන්න තියෙන එකම දේ අපිත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන එක. එහෙම නැතුව අරයා කිව්වා, මෙයා කිව්වා ඒ හින්දා ඇමැතිකම් ගන්න වුණා කියලා පාක්ෂිකයන් රවටන එක මහා ලොකු පාපකර්මයක්. ඇමැතිකම් නැතුවම බැරි අය තමයි ඔය වගෙ කතා කියන්නේ.

දැන් වුණත් ප්‍රමාද නැහැ. රටට ජාතියට ආදරය කරන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ එන ඕනෑම කෙනකුට ඉදිරිපෙළ ආසනය පුද කරලා පසුපෙළට යන්න මේ ප්‍රසන්න රණතුංග සූදානම්. මට ඕනේ තනතුරු නෙමෙයි. මට ඕනේ ඉස්සරහ පුටු නෙමෙයි. මට ඕනෙ අපෙ ආණ්ඩුවක්. අපේ ජනාධිපතිවරයෙක්. ඒක තමයි මගෙ ප්‍රාර්ථනය.

හොද ඇමැතිකමක් නැහැ, ඉස්සරහ පුටුවක් නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවා මහින්ද මහත්තයා ඇරුණම මේ රටේ ලොකුම ධනය තියෙන්නේ මට කියලා. මහින්ද මහත්තයා වගේම මමත් ජීවිත කාලේ පුරා එකතු කරපු ඒ එකම ධනය තමයි මේ ජනතාව. ඇමැත කටු ඕනෙ නැහැ මේ මිනිස්සු මගෙ වටේ හිටගත්තම මාව පරද්දන්න මොන ජගතටවත් බැහැ.

හැබැයි එන කොයි අයියලාත් අපි ආණ්ඩුව පෙරළන්න ඉස්සර එන්න ඕනේ. අපි ආණ්ඩුවක් ගත්තට පස්සේ නම් කාටවත් ආපහු එන්න දෙන්නේ නැහැ. මෙදා පාර කොට ඇදපු අලිම තමයි පෙරහැරෙත් යන්නේ. ඒ හින්දා පෙරහැරේ යන්න ඕනෙ නම් කොට අදින්නත් එන්න ඕනේ. පස්සා දොරොන් ඇවිත් කෙළින්ම පෙරහැරට යන්න නම් මෙදා පාර හම්බ වෙන්නේ නැහැ කියලත මතක තියා ගන්න.

එන අගෝස්තුව වෙන කොට මේ හවුල් ආණ්ඩුවේ ආයුෂ ඉවරයි. සැප්තැම්බර් වෙන කොට පළාත් සභා තුනක ඡන්දය තියන්න ඕනේ. හවුල් ආණ්ඩුවට ජැක් ගහන් ඉන්න කාටවත් මෙදා පාර නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සුන්ගේ ඡන්ද ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ආණ්ඩුවේ පිළිකන්නේ තවත් ලැගගෙන ඉන්නේ නැතුව අපිත් එක්ක එකතු වෙලා ජනතාවාදී ආණ්ඩුවක් හදන්න එකත වෙන්න කියලා මම ඉල්ලා හිටිනවා.

ඔය කවුරු ආවත් නාවත් අපි මේ දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන එක යනවවාමයි. ඒකේ කතා දෙකක් නැහැ. දැනටමත් මේ ආණ්ඩුව හෙල්ලිලා ඉවරයි. ආණ්ඩුව දන්නවා ජනතා මතය තියෙන්නෙ කොයි පැත්තට ද කියලා. ඒක නිසා තමයි ඡන්ද තියන්නේ නැත්තේ. ඡන්දයක් තිබ්බ ගමන් මේ හෙලවෙච්ච දත වගේ තියෙන ආණ්ඩුව ගැලවිලා යන එක නම් ඉර හද වගේ විශ්වාසයි.

හැබැයි ඡන්ද කල්දාලා ජනතා මතය කොල්ලකන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි දන්නවා ඡන්ද දිනන විදිය වගේම නොදෙන ඡන්ද ගන්න විදියත්. ඒ හින්දා වැඩිකල් නොගිහින් නම්බු පිටින් ඡන්දයකට යනඑක ආණ්ඩුවට වගේම කොයිකාගෙත් ඇගට ගුණයි කියලා අපි මතක් කරනවා. අපි ඡන්ද ඉල්ලන්නේ පරදින්න නෙමෙයි. අද ආණ්ඩුව තමයි ඡන්ද තියන්න බය වෙලා ඉන්නේ.

t

o

p