ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය ලබා දෙනවා – සෝනියා ගාන්ධි

April 26, 2017

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය ලබා දීමටත්, කලාපීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීම උදෙසා කැපවීමටත් තම පක්‍ෂය නිරතුරුවම ක්‍රියා කරන බව ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය පැවසුවාය.

16 වන දා පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින්, ගාන්ධි මහත්මිය අවධාරණය කළේ කලාපීය සහ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය.

හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා ද මේ අවස්ථාවට එක්විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව ද, කලාපීය දේශපාලන හා සමාජයීය ප්‍රවණතා පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

කොන්ග්‍රස් රජය සමයේ ඔවුනගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා සහ සාර්ක් කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජනරාල් අසෝක ගිරිහාගම සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

t

o

p