අගෝස්තු වන විට ලංවිම වැටුප් ප්‍රශ්නයට විසඳුමක් දෙනවා – ඇමති සියඹලාපිටිය

March 31, 2017

විදුලිබල  මණ්ඩලය වශයෙන් අපි හොද ශක්තිමත් ප්‍රගතිශීලි ගමනක් යන මොහොතක්. මේ දිනවල අපේ අවධානයට භාජනයවුණ සංකීර්ණ ප්‍රශ්නයක් තිඛෙනවා. හැබැයි කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නැති වෙන්න බැහැ. මම සෑම සතියකම අගහරුවාදා නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්කරගෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කරනවා. අපි ඒ කතා කරන්නේ විදුලිබල මණ්ඩල සේවක සහෝදර දහෝදරියන්ගේ, විදුලිබල මණ්ඩලයේ මෙන්ම විදුලිබල ක්ශේත්‍රයට බලපාන ගැටළු සහ අනාගතය සම්බන්ධවයි. විදුලිබල මණ්ඩල සහෝදර සහෝදරියන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය ගැන විසඳුම් සොයන්න මම විශේෂ කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ තීරණ මත මේ වසරේ අගෝස්තු මාසය වන විට ලංවිම සහෝදර සහෝදරියන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව මම විසඳුමක් ලබාදෙනවා. ඒ සඳහා අපිට සාධාරණ කාලයක් ලබාදෙන්න. වර්ජන උද්ඝෝෂණ අවශ්‍ය වෙන්නේ නිදාගත් පාලකයින් කූද්දන්න. නමුත් වර්තමාන පාලකයින් වශයෙන් අපි හැමදෙනාම ඉන්නෙ අවදියෙන්. අපි නිදි නැහැ. නිද්‍රාශීලී ස්වරූපයෙන් ඉන්නෙත් නැහැ. ඒ නිසා කූද්දන්න අවශ්‍ය නැහැ. මේ හැම ප්‍රශ්නයක් ගැනම අපි අවදියෙන් ඉන්නේ, යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(31) පෙරවරුවේ කොළඹ නගරසභා ශාලාවේ පැවති ලංවිම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා
වෘත්තීය සමිතියක් නිතරම සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ඕන. ඒවගේම රට ජාතිය මෙන්ම පක්ෂය වෙනුවෙනුත් ඔවුන් පෙනී සිටිය යුතුයි. මම අමාත්‍යාංශය බාරගත් දිනයේ පටන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට ගත්ත ප්‍රගතිශීලි පියවරක් තමයි ලංවිම මිනිස්බල සේවකයින් 6000ක් ස්ථීර සේවයට බඳවා ගැනීම. අපි දැක්කා මේ සඳහා එම සේවකයින්ට සාධාරණ අයිතිවාසිකමක් තිබුණ බව. ඒ ඔවුන්ගේ අයිතිවාසිකම ආරක්ෂා කරලා දෙන්න පුළුවන්වීම ගැන මම අද මහත් තෘප්තියක් ලබනවා. ඒ වගේම ගෙවල් දෙලක්ෂ පනස් දහසකට විදුලිය ලබාදෙන්න අපිට හැකි වුණා.  ඒ වගේම විදුලිබල සංග්‍රාමය තුළින් අතේ සතයක් නැතිව, වහලක් පමණක් තිඛෙන ඕනෑම කෙනෙකුට විදුලිබල නිෂ්පාදකයෙක් වෙන්න අපි අවස්ථාව ලබාදීලා තිඛෙනවා. ඒ වගේම වසර 30ක කාලයක් ඇතුළත ඇතිවූ දරුණුතම නියගයට අපි මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ ලංකාවේ පළමු වතාවට හදිසි විදුලිය මිලදී ගැනීමක් මිල ගණන් කැඳවීමක් තුළින් සිදුකරන්න අපිට හැකිවුණා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට මේ දේවල් ලොකු ආඩම්බරයක්. අපි යන ගමන ගැන අවබෝධ කරගත යුතුයි. අමාත්‍යවරයා ඇතුළු පාලක පක්ෂය යන්නේ හරි ගමනක් නම් වෘත්තීය සමිති විසින් ඒ ගමනට ශක්තියක් වියයුතුයි. ආරක්ෂා කළ යුතුයි. මේ යුගයේ අවශ්‍යතාව, රටේ අවශ්‍යතාව, ඒ වගේම ඔබේ අවශ්‍යතාව වටහාගෙන පාලක පන්තියට ශක්තියදීම මගපෙන්වීම වෘත්තීය සමිතියක වගකීමක්. ඒ වගකීම ඉටුකළොත් අපි පක්ෂයේ, ආයතනයේ පමණක් නෙමෙයි ජාතික යුතුකමක් ඉටුකළා කියලා හිතන්න අපිට පුළුූවන් ,යැයි පැවසීය.

t

o

p