එක් පවුලක සුඛවිහරණයට තිබූ රාජ්‍ය ආයතන අද ජනතා සේවයට වෙන් වෙලා

March 9, 2017

එක් පවුලක සුඛවිහරණය සඳහා වෙන් වී තිබූ රාජ්‍ය ආයතන, අද ජනතාවට සේවය සපයන ස්ථාන බවට පත් වෙමින් තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂණය අවම කිරීම සහ නවීකරණය තුළින් ලැබෙන ප්‍රතිලාභ ඍජුවම ජනතාව වෙත ලබා දීම යහපාලන රජයේ අපේක්ෂාව බවයි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, මුදල් අමාත්‍යාංශය සංවිධානය කළ වැඩසටහනකට ඊයේ (08) පෙරවරුවේ එක්වෙමින් රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය. මෙහි දී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිවයින පුරා නව ලොතරැයි අලෙවි නියෝජිතවරියන් 1000කට පත්වීම් ලබා දීම ද සංකේතවත් ලෙස සිදු කෙරිණි. දරිද්‍රතාව සහ විවිධ ආබාධිත තත්ත්වයන් ඇති කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් මුළු දිවයින ම ආවරණය වන පරිදි මෙම පත්වීම් ලිපි ලබා දීම සිදු කර තිබීම විශේෂත්වයකි.

උත්සව අවස්ථාව අමතමින් වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රවී කරුණානායක මහතා –

“අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අපේක්ෂාව වන්නේ රටේ දුක්විඳින ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමයි. එහි එක් පියවරක් ලෙස මෙසේ දිවයින පුරා නව ලොතරැයි අලෙවි නියෝජිතවරියන් පත් කිරීම සඳහන් කළ හැකියි. මීට වසර කිහිපයකට කලින් මේ වගේ ආයතනවලින් සිදු වුණේ එක පවුලක් සතුටු වීම පමණයි. මෙම ආයතනවල තිබුණ මුදල් විශාල වශයෙන් යෙදවුණේ පෞද්ගලික කටයුතු සඳහායි. ඒත් අද ශ්‍රී ලංකාව පුරා ම දහස් ගණනක් පවුල් සතුටු වෙනවා මේ නව වැඩපිළිවෙළ නිසා. අපි එදා රට භාර ගන්නා අවස්ථාවේ දී ජනතාවට පොරොන්දුවක් වුණා, දූෂණය, වංචාව නැත්තට ම නැති කරනව කියල. අද මේ, ක්‍රමක්‍රමයෙන් සිදු වේගෙන යන්නෙ ඒ කටයුත්ත තමයි. අද මේ ජනතාවට ලැබෙන්නෙ එහි ප්‍රතිලාභයි යහපත් අනාගතයක් පිළිබඳ සියලු දෙනාගේ අපේක්ෂාවන් ඉටු කිරීම රජයේ ප්‍රධාන අරමුණ.” යැයි ද මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට මෙලා කරුණානායක මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනී නීතීඥ ශාමිලා පෙරේරා මහත්මිය ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද එක් ව සිටියහ.

t

o

p