ෆයිසර්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුළු සභාවේම විරෝධය

October 4, 2016

මන්ත්‍රීවරු ඇමතිවරුන්ගෙන් වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න අසන ආකාරය සම්බන්ධයෙන් පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමතිවරයාට මුළු සභාවේම විරෝධය එල්ල විය.
උඣීව පළාත් සභා මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රශ්නය විමසා ඇති ආකාරය අපහාසාත්මක යැයි ඇමතිවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු දෙදෙනෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පළ කරන ලදි. එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ කිසිම ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු ෆයිසර් මුස්තාපා ඇමතිවරයා වෙනුවෙන් කතා කළේ නැත.
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් උඣීව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් සභා ගිණුමක් සිය පෞද්ගලික පරිහරණයට පවරා ගැනිමක් ගැන විමසා සිටියේය. එම ප්‍රශ්නය අපහාසාත්මක ප්‍රශ්නයක් බව පැවසු ඇමතිවරයා එසේ නමුත් තමන් මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන බව කීවේය.
එහිදි නැගි සිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතා කියා සිටියේ මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවේදි ඕනෑම ප්‍රශ්නයක් නැගිය හැකි බවත් ඇමතිවරුන්ට ඊට පිළිතුරු දෙනවා විනා එම ප්‍රශ්නය වැරදි යැයි කිව නොහැකි බවයි. රාජ්‍ය පාරිපාලන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා අප එක ඇමති මණ්ඩලයේ සිටියත් මන්ත්‍රීවරයෙකුගේ ප්‍රශ්නයකට ඇමතිවරයෙකු පිළිතුරු දිය යුතු යන මතයේ තමන් සිටිනා බව කියා සිටියේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා – මන්ත්‍රීවරයෙකු ප්‍රශ්නයක් ඇහුවාම ඒක ගැන ඇමතිට අර්ථකතන දෙන්න බැහැ. හොරකමක් ගැන අහද්දි හොරාට හොරා කියන්නේ නැතුව ගරුත්වය ආරක්ෂා කරලා කතා කරන්නේ කොහොම ද ….. ඇමතිවරයා කරන්න ඕනේ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දිම මිසක් ඒ ප්‍රශ්නය අහන්න දෙන්න බැහැ කියන එක නොවෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා – මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් අහන්නේ කතානායකතුමාගේ අනුමැතිය ඇතිවයි. කතානායකතුමා අනුමැතිය දුන්න නිසා තමයි න්‍යාය පත්‍රයට එන්නේ. මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය ගැන ඇමතිවරයාට ප්‍රශ්න කරන්න බැහැ. ඔහුට මන්ත්‍රීගේ ප්‍රශ්නයට උත්තරයක් නැතිනම් පිළිතුරු නොදි ඉන්න පුළුවන්.
විමල් විරවංශ මහතා (එ.ජ.නි.ස) – ප්‍රශ්නයට මුලික වෙච්ච මහ ඇමතිවරයාට නිති උපදේශ සපයන නිසා මේ ප්‍රශ්නය මතු වුනා දන්නේ නැහැ. මේක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන කොට හොරාටත් හොරාගේ අම්මාටත් රිදෙනවා තමයි.
කතානායක කරු ජයසූරිය මහතා – සෑම මන්ත්‍රීවරයෙකුටම ප්‍රශ්න අහන්න අයිතිය් තියෙනවා. මේ ප්‍රශ්නයේ අතුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමතිවරයාට සමහරවිට හිත රිදෙන්න ඇති අපි මේ ප්‍රශ්නය මෙතනින් අවසන් කරමු.

t

o

p