රු.ලක්ෂ 1500ක් මොන ඇමතිගේ ගිණුමට ගියා දැයි සොයන්න ඇමති මලික් CID යෙන් ඉල්ලයි

October 10, 2018

රුපියල් ලක්ෂ 1500 ක මුදලක් කිසියම් ඇමතිවරයෙකුගේ ගිණුමට බැරවී ඇතිනම් ඔහු සම්බන්ධයෙන් හැකි ඉක්මණින් පරික්ෂනයක් පවත්වා කරුණු හෙළි කරන ලෙස ඉල්ලමින් තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් බාරදුන් බව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය.
කැබිනට් ඇමතිවරයෙකුගේ ගිණුමකට රුපියල් ලක්ෂ 1500 ක මුදලක් බැරව ඇති බවට පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසු බවත් එවැනි කිසිදු මුදලක් ඇමතිවරයෙකුගේ ගිණුමකට ලැබි නැති බව තමාට දැනුම් දුන් බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඇමතිවරයෙකුගේ ගිණුමකට ලක්ෂ 1500 ක මුදලක් බැරව ඇති බවට පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ සිලෝන් හයිස්පීඩ් රේල්වේ නම් සමාගමක අධ්‍යක්ෂවරයෙකු විසින් එම ව්‍යාපෘතිය අනුමත කරගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25 ක කොමිස් මුදලක් මා සහ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටි බවට කර ඇති චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යකි. එම පාර්ශවය මා කිසි දිනයක හමුවී නැත.
මීට අමතරව පසුගිය සතියේදි මාධ්‍ය ආයතන හා වෙබ් අඩෙවි විසින් මාගේ බැංකු ගිණුමට රුපියල් මිලියන 150 ක මුදලක් බැර කිරිම සඳහා ලැබි ඇති බවත් මහ බැංකුව විසින් එම මුදල තහනම් කොට ඇති බවටත් චෝදනා කොට තිබේ. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි. කෙසේ නමුත් මුදල් ලැබුණු ඇමතිවරයෙකු සිටි නම් ඔහුට විරුද්ධව හැකි ඉක්මණින් පරික්ෂණයක් පැවැත්විමට කටයුතු යොදන මෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඉන්ස්පෙක්ටර් ජනරාල්වරයා ගෙන් ලිඛිතව ඉල්ලා සිටි අතර එම ලිපිය මේ සමඟ සභාගත කරමි.
අප අපේක්ෂා කළ මාධ්‍ය නිදහස මෙයද? මෙය වල්බූරු නිදහස මිස වෙන යමක් නොවේ.

t

o

p