සුදුවෑන් මරණ තර්ජන නැති නිසා වර්ජන – උද්ඝෝෂණ වලට නිදහස ලැබුණා

September 5, 2018

සුදුවෑන් වලින් උස්සාගෙන ගොස් මරා දමන්නේ නැති නිසා ඕනෑම වේලාවක වැඩ වර්ජන කිරීමටත් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ කිරීමටත්  අවස්ථාව උදාවී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
මේ කාලයේදී ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක වැඩ වර්ජන කිරීමට අවස්ථාව ලබාදී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රජයක් තිබෙන නිසා බවද ඒ මහතා සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය නියම අයුරින් ක්‍රියාත්මක කරන නිසා මෙම වැඩවර්ජනවල හෝ උද්ඝෝෂණවලට විරුද්ධ නොවන බවද අගමැතිවරයා කීවේය.
ස්වාධීන කොමිසන් සභාවල සභාපතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් අගමැතිවරයා මෙසේද කීය.
මේ කා‍ලේ ඕනෑම කෙනෙකුට ස්ට්‍රයික් කරන්න පුළුවන්. සුදු වෑන්වලින් ඇවිත් උස්සාගෙන යන්නේ නැහැ. මිනිසුන් අරගෙන ගිහින් මරා දමන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අප ඒවාට විරුද්ධ වෙන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මේ රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර තිබෙනවා. කවුරුත් ඒක පිළිගන්නවා. මාධ්‍යයත් ඒක පිළිගන්නවා.
පාර්ලිමේන්තුව ඉදිරිපිටට ඇවිත් උද්ඝෝෂණය කරනවා. ඒවාට නිදහස තියෙනවා. මේ ඔක්කොම කරන්න පුළුවන් නිසා තමයි පාර්ලිමේන්තුවට ඇවිත් කෑ ගහන්නේ. ස්වාධීන කොමිෂන් සභාවල අඩුපාඩුකම් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරනවා.

t

o

p