ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දියාවෙන් පූර්ණ සහය – ඉන්දීය ප්‍රවාහන අමාත්‍ය

April 27, 2017

යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යංශයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි (Hon. Nitin Gadkari) මහතා පැවසීය.

26 වන දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය නියෝජිත පිරිස හමුවෙමින් ගද්කාරි මහතා පැවසූයේ, මේ වන විට තම අමාත්‍යංශය යටතේ දිනකට කිලෝමීටර 23 ක මහා මාර්ග ඉදි කෙරෙමින් පවතින බව ය.

නවීන තාක්‍ෂණය හා සිය අත්දැකීම් පදනම් කරගනිමින් වසර සියයක් පුරා කල්පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ ශක්‍යතාව දැන් ඉන්දියාව සතු බව අවධාරණය කළ ගද්කාරි මහතා, එවන් ඉහළම ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ද අවධාරණය කළේය.

මහා මාර්ග සහ අධිවේගී මාර්ග ආශ්‍රිතව නව ආර්ථිකයන් නිර්මාණය කරලීමේ අවශ්‍යතාව හා හැකියාව සම්බන්ධව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීම නිසා උතුරේ ආර්ථිකය යළි පණගැන්වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගත හැකි ආකාරය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.

ඉන්දීය නාවුක ආමාත්‍යංශ ලේකම් රජීව් කුමාර් (Mr. Rajeev Kumar), මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් සන්ජේ මිත්‍රා (Mr. Sanjay Mitra), අතිරේක පුද්ගලික ලේකම් වඕභාව් ඩන්ගෙ (Mr. Vaobhav Dange)  ඉන්දීය පාර්ශවය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගී වූහ.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා සහ සාර්ක් කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජනරාල් අසෝක ගිරිහාගම සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

Ranil-Visit-Indiya4

t

o

p