පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (07) පැවති අවස්ථාවේදීය.
මෙහිදී සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ස්ථිර කරන ලදී.
එසේම ගරු ගාමිණි වලේබොඩ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු ගරු ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
කාරක සභාව අමතමින් නව කෝප් සභාපතිවරයා කියා සිටියේ කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එසේම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එකම කමිටුවක සාමාජිකයන් ලෙස සියලු දෙනා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. මීට පෙර කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් සමඟින් එම කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සදහන් කළේය.
කෝප් කමිටුව මඟින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය මෙන්ම නිර්දේශ ක්‍රියාත්මක නොකරන ආයතන සහ නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට හැකිවන ලෙස ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.