නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI පොලිසිය ද සනාථ කර තිබෙනවා – ඇමති සරත් වීරසේකර

May 19, 2021

නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකෙන්ද සනාථ කොට තිබෙන අතර මේ ප්‍රහාරයට විදේශීකයින්ද සම්බන්ධ බවට තොරතුරු ඇතැයි ද මහජන ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.

නිතිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු යොමු කළ ප්‍රශ්නයන්ට පිළිතුරු ලෙස අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මෙසේද කීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු ප්‍රකාශ නිකුත් කර තිබුණේ පොලීසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ  උධෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත්, ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත්ය.

එසේම නීතිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් කියා තිබුණේ රාජ්‍ය බුද්ධි සේවය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වෙලාව, දිනය යනාදිය ලබාදීම හරහා දැවැන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබෙන බවත්ය.

එසේම ඔහු කියා සිටියා ශ්‍රී ලංකා රජය විසින් මහ මොලකරු යැයි පවසන නවුෆර් මවුලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් සහ කණ්ඩායම් නායකයා වුවත්, මහ මොලකරු ඔහු බව නිශ්චිතව කිව නොහැකි බවත්ය.

තවද මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති බවත්, නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සළකන බවත්, ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයින් හෙලි නොවනු ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂය මාගෙන් කරුණු විමසා සිටිය අතර, අති උතුම් කාදිනල් තුමාද ලිපියක් මගින් මාගෙන් කරුණු විමසා සිටියා. කතෝලික ප්‍රජාව නියෝජනය කරන උන්වහන්සේගේ අසහනය අපට අවබෝධ කර ගන්න පුළුවන්. ප්‍රහාරයෙන් පසු සාමය ආරක්ෂා කර ගන්න උන්වහන්සේ දැක්වූ දායකත්වය අපි  අදත් ඉතා අගය කරමින් මතක් කරනවා.  ඒ නිසා අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට මා තීරණය කළා, එයට අවසර දීම ගැන ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ  ස්තුතිය පිරිනමනවා.

මා පළමුවෙන්ම කිව යුත්තේ වර්තමාන රජය තමයි එදා තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධය නිම කළේ. අදට හරියට වසර 12ක් සපිරෙන අද දින මා කියා සිටින්නේ එහෙව් රජයක් කවදාවත් නැවත ත්‍රස්තවාදයට, අන්තවාදයට හිස ඔසවන්න දෙන්නෙ නැහැ. එවගේම අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියා කළ අයව කෙසේ හෝ නීතිය හමුවට ගෙනැවිත් දඩුවම් කිරීමට උපරිම උත්සහය දරනවා.

2019 ලෝකයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුනේ ලංකාවට. ඒ  පාස්කු ඉරිදා මිලේච්ඡ ප්‍රහාරය. අද වනතුරුත් ඊට වඩා දරුණු ප්‍රහාරයක් ලෝකයේ වෙලා නැහැ. මේ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයින්ද මිය ගියා. ඒ නිසා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව FBI සහ Australian Federal Police යනාදි ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් සමග එක්වී මෙම විමර්ශන කටයුතු කරනවා.

ජාත්‍යන්තර විමර්ශන කටයුතුවලට සාමාන්‍යයෙන් බොහෝ කාලයක් ගත වෙනවා. 2001 සැප්තැමබර් 1 ඇමෙරිකාවේ දරුණු ප්‍රහාරයේ මහ මොලකරු ලෙස කියන කලීඩ් ෂෙයික් මොහොමඩ් තාමත් අත්අඩංගුවේ. තාම ඔහුට නඩු පවරා නැහැ.

ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය රජිව් ගාන්ධි අගමැතිතුමාගේ ඝාතකයින්ට නඩු පවරන්නත් වසර ගණනාවක් ගියා. ලක්ෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයාගේ ඝාතනයේ සැකකරුවන්ට නඩු පවරන්න වසර 3ක් ගියා.

දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරයේ චූදිතයින්ට නඩු පවරන්න වසර 7ක් ගියා.

සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රස්ත ප්‍රහාරවල නඩු පැවරීමට එසේ බොහෝ කලක් ගත වන්නේ ඉතා සූක්ෂම අයුරින් විමර්ශන කටයුතු කළ යුතු නිසා. නීතියේ හිඩැස්වලින් රිංගා යන්න දෙන්න බැහැ. කිසිම අඩුපාඩුවකින් තොරව සාක්ෂි / කරුණු සම්පිණ්ඩනය කළ යුතු නිසා.

ප්‍රථමයෙන් මා කියන්න කැමතියි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද වනවිට චූදිතයින් 32කට දැනටමත් නඩු පවරා අවසන්. මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියේ සැකකරුවන් 16 දෙනෙකුට විරුද්ධව කෑගල්ල මහාධිකරණයේ  නඩු පවරා තියෙනවා.

වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තෙහි තිබී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම  සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකුට පුත්තලම මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මාවනැල්ල මොහොමඩ් තස්ලීන් යන අයගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම  සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකුට විරුද්ධව කෑගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. අරුප්පොල අවි පුහුණුව ලබා ගැනීම  සම්බන්ධයෙන් සැකකරු මොහිදීන් ඉක්සාන් අමහඩ් යන අයට විරුද්ධව මහනුවර මහාධිකරණය නඩු පවරා තියෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන්  සැකකරු ඉමාත් ඉද්දිසාම් පාකීර් යන අයට  ගම්පහ මහාධිකරණයේ දැනටමත් නඩු පවරා තියෙනවා.   

ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දීම  සම්බන්ධයෙන් සැකකරු මොහොමඩ් නව්පර්, මොහොමඩ් යුස්රි යන අයට විරුද්ධව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තියෙනවා.  

එවගේම තමයි ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ආධාර අනුබල දීම  සම්බන්ධයෙන්  නීතීඥ පිජාස් හිස්බුල්ලා සහ තවත් සැකකරුවෙකුට පුත්තලම මහාධිකරණයේ නඩු පවරා තියෙනවා.

ඒවගේම සාපරාධී නොසැලකිල්ල හා නොකර හැරීම තුළින් ආධාර අනුබල දීම වෙනුවෙන් හිටපු පොලිස්පතිට, හිටපු ආරක්ෂක ලේකම්ට කොළඹ මහාධිකරණයේදී නඩු පවරා තියෙනවා.

පොලීසිය විසින් ගිය වසරේ නොවැම්බර් මස පාස්කු ප්‍රහාර සිද්ධි 8ක් සම්බන්ධයෙන් උධෘත ගොනු 8ක් නීතිපතිවරයාට අපි ලබා දුන්නා. ඉන්පසු මා කිහිප වතාවක් පුද්ගලිකව නීතිපතිතුමා හමු වුනා. ඔහු ඉතා උද්යෝගිමත්ව, විශාල කැපවීමකින් යුතුව මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන බැව් මට වැටහී ගියා. ඔහු කියා සිටියා ජනාධිපති කොමිසන් වාර්තාවක් එනතුරු සිටිය යුතුයි කියා. මන්ද, පොලීසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි / කරුණු සහ ජනාධිපති කොමිසන් වාර්තවේ සාක්ෂි / කරුණු අතර පරස්පරයක් තිබේදැයි සොයා බැලිය යුතු නිසා.

ජනාධිපති කොමිසන් වාර්තාව නීතිපතිවරයාට මේ වසරේ පෙබරවාරි මස ලබා දුන්නා. ඉන්පසු ගරු කථානායක තුමනි, 2021 මාර්තු මස 12 දින සිට අප්‍රේල් 24 දින දක්වා පොලිස් විමර්ශන නිලධාරීන් 54 දෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ කණ්ඩායමක් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනාරාල්වරියකගේ ප්‍රධානත්වයෙන් මෙම සාක්ෂි / කරුණු ගැඹුරින් අධ්‍යයනය කළා. මෙය සම්පූර්ණයෙක් අධීක්ෂණය කළේ වර්තමාන නීතිපතිතුමා.

එසේ අධ්‍යයනය කරන අතරතුර යම් යම් අඩුපාඩු මතු වෙනවා. සමහර සාක්ෂිකරුවන්ගේ අමතර සාක්ෂි අවශ්‍ය වෙනවා. දුරකථන අංකයන් පිළිබඳ විස්තර අවශ්‍ය වෙනවා, අමතර රස පරීක්ෂක වාර්තා යනාදිය අවශ්‍ය වෙනවා. මෙන්න මේ අඩුපාඩු සහිත සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අප්‍රේල් මස 24 දින පොලිසියට භාර දුන්නා. ඒවා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න.

අපිට අප්‍රේල් 24 වන දින දුන් වාර්තාව නැවත වරක් මතක් කිරීමක් වශයෙන් නීතිපතිතුමා පොලිස්පතිවරයාට භාර දී ඇත්තේ මැයි මස 12 දා. ඒ වනවිටත් පොලීසිය ඒ අඩුපාඩු බොහෝ කොටසක් සම්පූර්ණ කොට නීතිපති දෙපාර්තමේන්තුවට යවා අවසන්. ඉතිරි අඩුපාඩු ඉදිරි කාලය තුළදී යැවීමට බලපොරොත්තු වෙනවා. ඒ අඩුපාඩු සියල්ල එසේ සම්පූර්ණ කළ පසු නීතිපතිතුමාට අදාල චූදිතයින්ට එරෙහිව නඩු පැවරිය හැකියි.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී හුවා දක්වන සැකකරුවන් 5 දෙනා අතුරින් සැකකරුවන් 4 දෙනෙක් සම්බන්ධයෙන් 2021 මැයි මස 17  දින නීතිපති හමුවේ උධෘත ගොනු දැනටමත් ඉදිරිපත් කර අවසන්.

එනම්, මොහොමඩ් රිස්වාන් , මොහොමඩ් වකාර් යුනිස්, ෂාවුල් හමීඩ්,      මොහොමඩ් ෆසාන් යන අයගේ උධෘත ගොනු දැනටමත් යවා අවසන්.

මාර්තු මස 21 දින අත්අඩංගුවට ගත් මොහොමඩ් ආසිම් සම්බන්ධ විමර්ශන දැනට කරමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් ගරු කථානායක තුමනි, 704 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එයින් රක්ෂිත බන්ධනාගාරයේ 203ක් ද, රැඳවුම් නියෝග මත 84ක් ද සිටිනවා.

ඇප මත 244ක් සිටින අතර, 168ක් නිදහස් කොට තිබෙනවා. 32කට අධි චෝදනා ගොනු කොට තිබෙනවා..

මෙම විමර්ශන ක්‍රියාදාමය නොකඩාවා සිදුවන දෙයක්. පොලිසිය සැම විටම නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වයි මේ ක්‍රියාව සිදු කරන්නේ. එහිදී යම් යම් අඩුපාඩු දුටු විට වහා එය පියවන්න කටයුතු කරනවා. දැනට තියෙන තත්ත්වයට අනුව අප්‍රේල් 24 වනදා පොලීසියෙත් අසා ඇති ඉතිරි කරුණු ටික සම්පූර්ණ වූ වහාම නීතිපති තුමාට මොවුන් සියලු දෙනාටම එරෙහිව අධි චෝදනා ගොනු කරන්න පුලුවන්.

මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති තුමා විසින් දෙන ලද වෘත්තීයමය සහාය, සිදු කරන ලද කැපවීම අපි ඉතාම අගය කරනවා.

මෙහිදී මොහොමඩ් නවුෆර් මවුලවි ගැනත් යමක් කිව යුතුයි. පොලිස් පරීක්ෂක අනුවත්, ඇමෙරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහ මොලකරු භූමිකාව නවුෆර් මවුලවි විසින් රඟපා ඇති බව පැහැදිලි වෙනවා.

01. ඔහු තමයි IS මතවාදය ලංකාවට ගෙනවිත් 2016දී සහරාන්ව ඒ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනවා.

02. ඔහු තමයි  IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. ඔහුගේ

පොත්පත් වලින් සහ ලැප්ටොප් වලින් එය සනාථ වෙනවා. එහි විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම සකස් කළේ ඔහු. නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුර අධීක්ෂණය කළේ නවුෆර් මවුලවි.

03.නවුෆර් තමාගේ බිරිඳගේ නංගිව සහරාන්ට විවාහ කර දුන්නා. ඔවුන් එකම මත්ද්‍රසා පාසලේ, සලා මද්‍රසා පාසලේ ඉගෙන ගත්තේ නවුෆර් සහරාන්ගේ ජ්‍යෙෂ්ඨයා හැටියට කටයුතු කළා. දරූල් අදාල් සංවිධානයේ නවුෆර් ප්‍රධාන චරිතයක් රඟ පෑවා. ඒකෙ සහරානුත් හිටියා.

නවුෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකෙනුත් සනාථ කොට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශීකයින්ද සම්බන්ධයි.

ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන ඕස්ට්‍රේලියානු ජාතික ලුක්මාන් තාලික් කටාර්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනට විදේශීය බුද්ධි සේවා ඔහුගේ දායකත්වය ගැන කරුණු සොයාගෙන තිබෙනවා. අපේ බුද්ධි සේවයත් ලුක්මාන්ගේ අල්කයිඩා සහ IS මතවාදීන් සමග සම්බන්ධකම් සොයාගෙන තිබෙනවා. ඔහුට පුතුන් දෙදෙනෙකු සිටිනවා. එයින් එක් පුතෙක් දැනටමත් ඕස්ට්‍රෙලියාවේ නිවාස අඩස්සියේ තමයි සිටින්නේ.

මාලදිවයින් ජාතික සැකකරුවන් 4 දෙනෙක් අප සොයාගෙන තියෙනවා. ඔවුන් තමා ජමාතේ ඉස්ලාම්  ශිෂ්‍ය සංවිධානයේ ජාතික  සංවිධායක සාදික් අබ්දුල්ලාට මුදල් ලබා දුන්නේ සහ ආයුධ හදන්න  ලේත් මැෂිමක් ලබා දුන්නේ.

ඒ සම්බන්ධ විමර්ශන කටයුතු කෙරීගෙන යනවා.

එසේ නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැහැ. දැනටමත් නඩු 9ක් පවරා තිබෙනවා. ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරනවා.

වර්තමාන රජය පත් වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පත් කළා. ඔහු ඉතා කාර්යක්ෂමව එම කටයුතු සිදු කරනවා. ඒවගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා  සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ඔහුට මනා සහායක් ලබා දෙනවා. ඒවගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥයින් රැසක් පොලීසිය සමග දිවා රාත්‍රී ඉතා මහන්සියෙන් වැඩ කරනවා.

ඔවුන් සියලු දෙනාටම මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මගේ ප්‍රණාමය සහ ගෞරවය හිමි වෙනවා.

t

o

p