කවර අභියෝගයක් ආවත් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කොට ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

May 18, 2021

මානුෂීය මෙහෙයුමේ දී තුවාල ලත් රණවිරුවන් රජයෙන් ලබාගත් දේපල ණයවල පොලී ඉවත් කිරීමට තීරණය කර ඇතැයි  ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේදීමානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් ක‍ළේය.

“ඔබට නිදහස ලබා දෙන්න රටට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදු මොහොතක කවර අභියෝගයක් ආවත් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කොට ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි.” යනුවෙන්ද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

අද සුවිශේෂ දවසක්! අපි තිස්  වසරක ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර 12 ක් සම්පූර්ණ වෙනවා .

2009 මැයි 18 වැනිදා මට හොඳට මතකයි මේ මුළු රටේම ජනතාව ජාතික ධජය අරන් පාරට බැහැලා තමුන්ගේ සතුට එදා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණය රටේ කොටසක් විතරක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ එදා ත්‍රස්තවාදීන් මිනිස් පලිහක් විදිහට යොදාගත්ත ලක්ෂ හතරකට වැඩි පිරිසක් අපි නිදහස් කර ගත්තා  .අවුරුද්දට වතාවක් දෙකක් ජීවත්වන ගේ දොර, හරක බාන අත ඇරලා බඩු මුට්ටු පොදි බැඳගෙන  ජීවිතේ විතරක් අතින් අරගෙන පාරට වැටිලා උතුරු නැගෙනහිර අපේ ජනතාව සරණාගතයන් ලෙස තැනින් තැනට ගිය යුගය අපි නිමා කරල දුන්නා.

වඩක්කු කිලක්කු මක්කල් අහ දිග ලාග,නාම් මුඩිත්තු වයිත්තෝම් ( උතුරු නැගෙනහිර ජනතාව අවතැන් වූ වෙලා සරණාගත ජීවිතය ක් ගත කරමින් සිටියා, අපි ඒ යුගය අවසන් කළා) .

අවුරුදු විස්සක් විතර අනාථ නිවාස වල ජීවත් වුන නැගෙනහිර ජනතාවට යළි තමන්ගේ ගෙදරට ගිහින් ගෞරවය ඇතිව ජීවත් වෙන්න අවස්ථාව අපි හදා දුන්නා.

 කොයි මොහොතක හෝ කැති ගහලා වෙඩි තියල දරුවෝ උස්සලා පොළොවෙ ගහලා මරලා දායි කියලා හිත හිතයි හැංගිලා ජීවත් වුණු ගම්මාන උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබුණා. මර බයේ මිනිස්සු ජීවත්වන ගම්මාන වලට කිව්වේ මායිම් ගම්මාන කියලයි .

සමහර ප්‍රදේශවල පයගහන්න බැරි තරමට බිම් බෝම්බ වළලා තිබුන මාර්ග බාධක අධි ආරක්ෂක කලාප හැමතැනම තිබුණා ඒ සියල්ල මේ රටෙන් තුරන් කරලා මරණ බිය නැති නිදහස් දේශයක් බිහි කළ උදාර දවස අදයි.

තමන්ගේ දුවා දරුවන් යුද්දෙට ඇදගෙන යන්නේ නැතිව රටක් හැදූ නිසා මේ ජයග්‍රහණය උතුරේ ජනතාව ටත් නැගෙනහිර ජනතාවට අයිති ශ්‍රී මහා බෝධිය ළඟ දළදා මාලිගාවේ කාත්තන්කුඩි පල්ලිය වගේම මඩු

දේවස්ථානයේ බෝම්බ පුපුරන්නේ නැති නිසා මේ ජයග්‍රහණය සියලු ආගමිකයන්ට අයිති යි.තමන්ගේ දරුවා වෙනුවෙන් ඉස්කෝලේ ගේට්ටු මුර කරන යුගය නිමා කළ නිසා සියලු ජනතාවටත් මේ ජයග්‍රහණය අයිති යි.

ඒ විතරක් නොවෙයි, මේ ජයග්‍රහණය මේ උත්තරීතර සභාව ලබපු විශාල ජයග්‍රහණයක්,  ත්‍රස්තවාදීන් මුලින්ම ඝාතනය කරන්න පටන් ගත්තෙ මහජන නියෝජිතයන් ව. දොරෙ අප්පගෙ ඉඳන් අමිර්තලිංගම්ගේ ඉඳන් සෑම් තම්බිමුත්තු ගේ ඉඳන් මහජන නියෝජිතයෝ විශාල පිරිසකගේ ජීවිත අහිමිවුණා .මේ සභාව නියෝජනය කළ  ආර් .ප්‍රේමදාස, ලක්ෂ්මන් කදිරගාමර් ,ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ,ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ද.මු. දසනායක ,සී.වී. ගුණරත්න ඇතුළු විශාල මහජන නියෝජිතයන් පිරිසගේ ජීවිත ත්‍රස්තවාදීන් උදුරාගත්තා .දරුණු මරණ බය තිබුණේ මේ සභාවට එන මහජන නියෝජිතයන්ටයි.

 තමන්ගේ උපන් ගෙදරත් බංකරයක් කරගෙන ජීවත් වෙන්නයි මහජන නියෝජිතයන්ට සිද්ධ වුණේ මේ සභාවේ මන්ත්‍රීවරු කවුරු පිටුපසත් ත්‍රස්තවාදීන්ගේ තුවක්කු කටක් බෝම්බයක් එල්ල වෙලා තිබුනත් මේ උත්තරීතර සභාවේ ඉන්න සියලු දෙනාටම ඉහළින් මරණය අසිපත ලෙළදෙමින් තිබුණේ එල්ටී.ටි.ය විනාශ කරල අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයෙ දෙවොලෙ  තිබුණ මරණ බය තුරන් කළා කියලා මම කියන්න ඕන .ඒ නිසා ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල ඉහළින්ම වැඩියෙන්ම භුක්ති විදින්නේ ඔබයි. ඒ නිසා මේ ජයග්‍රහණය මේ සභාවේ ඉන්න කවුරුත් අවතක්සේරු නොකළ යුතුයි .

අද උතුරේ පළාත් පාලන ඡන්ද, පළාත් සභා සහ පාර්ලිමේන්තු ඡන්ද නිදහසේ තියන්න පුළුවන් වෙන්නේ මේ ජයග්‍රහණය නිසයි. උතුරු- නැගෙනහිර මහජන නියෝජිතයින්ට තමන්ගේ ගම් වල ඇවිදලා තමන් කැමති දෙයක් කියලා නිදහස් අදහස් පළකරලා දේශපාලනය කරලා මේ  සභාව‍ට එන්න එදා පුළවන්කමක් තිබුණෙ නෑ.ඒක ඔබගේ හෘද සාක්ෂිය හොඳින්ම  දන්නවා. ඒ ජයග්‍රහණය අපට ලබාදෙන දහස් ගණන් ජීවිත දන් දුන්න ඇස්, මස්, ලේ ,දන්දුන් අත්පා  අහිමිකරගත්තා .

ගරු කතානායකතුමනි, එදා යුද්දෙට ගිය කිසි කෙනෙක් ඒ සඳහා ගියෙ ජන සංහාරයක් කරන්න නෙමේ. එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ජන සංහාරයක් කරන්න තමන්ගේ සේනා මෙහෙය වූයේ නෑ.

ඒ අය  සටන් කළේ උතුරේ අහිංසක දරුවො අම්මල-තාත්තල  බියපත් ජනතාව මිනිස් පළිහක් කරගෙන ඔවුන් පිටිපස්සට වෙලා සටන් කළ ම්ලේච්ඡයින් පිරිසක් සමඟයි. ඒ මිනිස් පළිහ රැගෙන ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන්නයි අපේ අරමුණ වුණේ ඒක හමුදා ප්‍රධානීන් ට ලැබෙන දුෂ්කර අභියෝගයක්. නමුත් ඔවුන් එය කලා .

අපි ලෝකෙ උසස්ම රණවිරුවන් බවට පත් කළේ එදා හිටිය සාමාන්‍ය ජනතාවගේ දරුවෝ. ග්‍රාම ආරක්ෂකයෝ හැටියට හිටිය අයව සිවිල් ආරක්ෂකයෝ බවට පත් කළා. රජයේ ආරක්ෂක සෙබළු කියලා සලකපු අය වීරෝදාර රණවිරුවෝ බවට පත් කළා. ඒ අය වෙනුවෙන් වෙනම රෝහල් හැදුවා. වෙනම සේවාවන්වල යෙදෙව්වා. රාජ්‍ය තාන්ත්‍රික සේවාවන්වල යෙදෙව්වා . රාජ්‍ය සේවය උසස් තනතුරුවලට පත් කළ වැටුප් දීමනා වන්දි හැමදේකින්ම ඔවුන්ගේ තත්ත්වය උසස් කලා .

ඒ වගේම මානුෂීය මෙහෙයුමේ දී තුවාල ලත් රණවිරුවන් රජයෙන් ලබාගත් දේපල ණයවල පොලී ඉවත් කරන්නත් අපි තීරණයක් අරගෙනයි තියෙන්නෙ .

රණවිරුවන් අද  සුවවිරුවන් වෙලා අද රටක් වසංගතයකින් බේරගන්න සටන් වදිනවා. රටට ජාතියට ද්‍රෝහී බලවේගය එදා යුද්දෙදි අපට එරෙහි වුණා වගේම අදත් වසංගතයට එරෙහිව ත්‍රිවිධ හමුදාව යොදවනවාට එරෙහි වෙනවා.

 නමුත් මතක තියාගන්න, ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරලා  ලෝකයට ආදර්ශයක් දුන්නා වගේම මේ රණවිරුවන් ලෝකෙට ආදර්ශයක් දෙන බව. ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් පිරිසක් බවට ත්‍රිවිධ හමුදා සහ පොලිස් සිවිල් ආරක්ෂක සෙබළුන් අපි පත් කොට තිබෙනවා .අද වගේ දවසක මට ඒ ගැන ආඩම්බරයි.

 ඒ උදාර විරුවන් ආරක්ෂා කරගැනීම ශ්‍රී ලාංකික ජාතිය තිබෙන විශිෂ්ට මානුෂික ගුණාංගයක් බව මේ සභාවට මම අවධාරණය කරනවා ඒ නිසා අපි රණවිරුවන්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවේ සම අනුග්‍රහකයක් වීමේ දේශද්‍රෝහී යෝජනාවෙන් ඉවත් වුණා .

ඔබට නිදහස ලබා දෙන්න රටට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදු මොහොතක කවර අභියෝගයක් ආවත් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කොට ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි.

එදා ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගා දැමූ දවසේ මා මේ උත්තරීතර සභාව ඇමතූ ඇයි දමා කිව්වා වගේම අදටත් අපට  නැද්ද පලමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම ,තෙවනුවත් මව්බිම !ස්තුතියි.

t

o

p