වායු දෙවියන්ගේ අතවරයකින් හනුමන්තා බිහිකළ අංජනම් දේවී

May 12, 2021



අංජනම් බැලීම, අංජනම් ඇරීම ආදී වශයෙන් හැඳින්වෙන ක්‍රියාවලිය ශ්‍රී ලාංකේය ජන සමාජයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. කිසියම් තැටියක, බුලත් කොළයක හෝ ගල්වනු ලබන අංජනයක් තුළින් දිස්වන බව පැවසෙන මායාත්මක දෘෂ්ටීන් මගින් යම් යම් දේ ප්‍රකාශ කිරීම අංජනම් බැලීම හා අංජනම් ඇරීම වශයෙන් සැලකෙයි. සෑම අංජනමක් සම්බන්ධයෙන්ම අදාළ නොවුවත් අංජනම් බැලීම සම්බන්ධ ප්‍රධානතම ගුප්ත චරිතයක් ඇත. ඒ හනුමන්තාය. ඒ හැරුණු කොට ඒ සම්බන්ධයෙන් පැවසෙන ඊළඟ ගුප්ත චරිතය අංජනම් දේවියයි. මෙම අංජනම් දේවිය යනු හනුමන්තාගේ මවය. අපගේ ජන විශ්වාසයට අනුව අප රටේ වුව අංජනම් බැලීමක දී හනුමන්තාට ඒ අංජනමට පැමිණ අපට තොරතුරු දන්වන ලෙස නියම කරන්නී අංජනම් දේවියයි.

අංජනම්දේවිය වශයෙන් අප ජන සමාජයේ හැඳින්වෙන අංජනා හෙවත් අංජාන් යනු දිව්‍ය අප්සරාවකි. සුමේර පර්වතයේ වෙසෙන කුවේර (ධනයට අධිපති කුවේර නොවන බවට ද මතයක් තිබේ) ගේ දියණියක වන අංජනාට එක්වරම වානර ස්වරූපයක් ලැබෙනුයේ මහා ප්‍රබල ඍෂිවරයකුගේ ශාපයෙනි. එහෙත්, පසුව මහා බ්‍රහ්මයා විසින් දෙනු ලබන විශේෂ වරයකට අනුව තමන්ට අභිමත පරිදි යම් වේලාවකට දිව්‍ය හෝ මනුෂ්‍ය වේෂයක් ගැනීමේ භාග්‍යය ඇයට හිමි වේ. අතිශය රූමත් බවකින් යුතු අංජනා හෝ අංජනී දිව්‍ය අප්සරාව නිසි කල වයසට පැමිණි පසු ඇගේ පියා වන කුවේර විසින් බ්‍රහස්පතිගේ පුතු වන ‘කේසරී’ හට ඇය සරණ පාවා දෙනු ලබයි. මහා බ්‍රහ්මයා කෙරෙහි අතිශය භක්තිමත්ව කටයුතු කරන ඇය ඔහුගෙන් ලද වරය අනුව දිව්‍ය හෝ මනුෂ්‍ය ස්වරූපයක් ආරෝපණය කර ගත් සෑම විටෙකම මහා බ්‍රහ්මයා උදෙසා පුද පිළිවෙත් සිදු කිරීමට අමතක නොකරන්නීය.


දිනක් අංජනා එලෙස කහ පැහැති වස්ත්‍රාභරණ හැඳ පැලඳ සුමේරු පර්වතය මුදුනේ බ්‍රහ්මයා වෙනුවෙන් පුද පිළිවෙත් පවත්වමින් සිටිය දී එතැනින් යන්නට පැමිණි වායු දෙවියන්ගේ සුළං පහරින් ඇගේ හැඳිවත මෑත් වී පියයුරු සහ වටොර ඔහුට දර්ශනය විය. මින් කාමෝන්මාදයෙන් මුසපත් වූ වායු දෙවියන් අංජනා වැළඳ ගැනීමත් සමග ඇය තුළ දරු ගැබක් ඇති විණි. ‘නුඹේ දරුගැබ හෙළීමට බලයක් නැහැ. ඊට හේතුව මා මෙන් ඉතා ප්‍රබල පුත්‍ර රත්නයක් ඔබේ කුස තුළ පිළිසිඳ ගැනීමයි. ඔහු සිහි නුවණින් කතා කිරීමටත්, පුද්ගලයන් වසඟ කර ගැනීමටත්, ඔවුනොවුන් භේද කරවීමටත් හැකි මා (සුළඟ) මෙන් ගමන් කරන විෂ්ණු දෙවියන්ගේ සේවය පිණිස වුව කැපවිය හැකි මහා ප්‍රබලතමයකු වනු නියතයි’ එසේ පවසන වායු දෙවියන් අංජනී වෙතින් ඉවත් වනුයේ තමන් විසින් කරන ලද වරද යළි නිවැරදි කරගත නොහැකි බැවිනි. නිසි කල් පැමිණි පසු අංජනා වානර එහෙත් සුරතල් පෙනුමකින් යුතු දරුවකු ප්‍රසූත කළාය. එහෙත් දරුවා වානර පෙනුමකින් යුතු වීමත් ඔහුගේ පීතෘත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බැවිනුත් එම දරුවා සමග හිමාල වනයට ගිය අංජනා ඔහු එහි තනිකොට හඬා වැලපෙමින් නැවත නගරයට ආවාය.

කෙසේ හෝ පසුව හනුමාන් යනුවෙන් නම් ලැබූ මෙම වානර දරුවා වනයේ තනි වී සිටින විට බැස යන හිරු මඬල දැක එය කෑමට කඩා පැන්නේ එය ඉදුණු පලතුරක් සේ වරදවා සිතමිනි. එහෙත් ඉතා ප්‍රබලයකු වන ඔහු යම් හෙයකින් හිරු මඬල කා දැමුවහොත් මුළු ලොවම අන්ධකාරයේ ගිලෙන බව දැනගත් ඉන්ද්‍ර දෙවියා එසැණින් හනුමාන්ගේ මුවට වජ්‍රායුධයෙන් පහරක් හෙළීය. ඉන් හනුමාන්ගේ හකු ඇටයකට හානි වූ අතර ඔහුට හිරු මඬල කා දැමීමේ අවස්ථාව ද ඔහු කෙරෙන් ගිලිහුණි. ඒ වන විට මෙම සංසිද්ධිය දෙස බලා සිටි මහා බ්‍රහ්මයා හනුමාන්ට ප්‍රබල දේවත්වයක් ලබා දී ඔහු විෂ්ණු දෙවියන්ගේ පාර්ශ්වයට සේවය කළ යුතු බවට නියෝග කොට යළි තම මවගේ එනම් අංජනාගේ සෙවණට පත් කළේය. ඒ ඔහු පිළිබඳ අනුකම්පාවෙනි. හින්දු ආගමේ ප්‍රධාන දේවතාවන් අතරට ගැනෙන හනුමාන් හෙවත් හනුමන්තා වානර සම්භවයකින් යුතු දෙවි කෙනෙකි. වාල්මිකී විසින් ලියන ලද රාමායනය වීර කාව්‍යයේ වීරයා වන රාම කුමරුන් සඳහා සුවිශිෂ්ට සහායක් දැක්වීම මත හනුමන්තා දේවත්වයට පත්ව තිබේ. නමුදු ‘හනුමා’ යන්න අප සමාජයේ ඇතැමුන්ට නිගරු කිරීම පිණිස යොදනු ලබන වදනකි. රාමායනය කේන්ද්‍ර කර ගත් අංජනම් දේවි හනුමන්තා පුරාවෘත්ත පසුකාලීනව විවිධ ස්වරූපවලින් සමාජගත වී තිබේ.


පැරණි දේව කතාවල එන මෙම රසවත් පුරාවෘත්තය රාමායනය ලියැවෙන කාලය වන විට කෙතරම් ප්‍රබල ලෙස සමාජගත වී තිබුණේ ද යත් විෂ්ණුගේ අවතාරයක් වන රාමාගේ යුද සේනාවේ ඔත්තු බැලීමේ හෙවත් වර්තමාන ව්‍යවහාරයට අනුව කිවහොත් බුද්ධි අංශ ප්‍රධානියා ලෙස හනුමාන් හඳුන්වා දෙන ලදී. එනිසා පුද්ගල ආරක්ෂාව මුල්කොට ද භාරතවාසීහු ඔහු අදහති. ඉන්දියාවේ හනුමාන් දෙවියන් අදහන සෑම විටෙකම අංජනී හෙවත් අංජනා දේවතාවිය ද ඇදහීමට ලක්වන අතර ඇය පිණිස වන පූජා චාරිත්‍ර ද සිදු කෙරේ. එමෙන්ම මෙම අංජනාගේ උපන් බිම වශයෙන් සැලකෙන ස්ථාන ගණනාවක්ම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තිබේ. ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ චම්බා දිස්ත්‍රික්කයේ ඇය උපන් බව පැවසෙන විලක් ද ඇත. එහෙත්, අප රටේ සිංහල බෞද්ධ සමාජයේ හනුමන්තා හෝ අංජනම් දේවිය ඇදහීමට ලක් නොවන අතර අප සමාජයේ බොහොමයකට ඔවුන් මතකයට නැංවෙනුයේ අංජනම් බැලීමක දී පමණි.

අංජනම් දේවියගේ සැමියා වන කේසරීන් පිළිබඳව දේව පුරාවෘත්තවල වැඩි විස්තර සඳහන්ව නැතත් හනුමාන් නම් වීර පුතු සහ ඇය අතර පවතින දැඩි සම්බන්ධතාව පිළිබඳව ද බොහෝ සාහිත්‍යකරුවන් විසින් විශේෂයෙන් හුවා දක්වා තිබේ.


තිලක් සේනාසිංහ

t

o

p