සක්විති රජු කියන්නේ හිට්ලර් කෙනෙකුට නොවේ !

May 12, 2021

හිට්ලර් කෙනෙකු වී  මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි එවක ආරක්‍ෂක ලේකම් ව සිටි වත්මන් ජනපති ගෙන් ඉල්ලා සිටි බව අස්ගිරි පාර්ශවයේ අනු නායක  වෙඩරුවේ උපාලි  හිමියන් පසුගිය දිනයෙක නැවත පවසා ඇත්තේ වත්මන් ජනපති වරයා බුදු දහමේ එන දස රාජ ධර්ම අනුව මීට වඩා සෘජු ලෙස ක්‍රියා කළ යුතු බවකි. නමුදු උන් වහන්සේ දස රාජ ධර්ම වල එන “උජූ” යන පාලි වදන “දැඩි” යනුවෙන් අර්ථ ගන්වා තිබීම මුළුමනින් ධර්ම විරෝධීය.

එය බෞද්ධ ධර්ම විනය පිළිබඳ නිවැරදි දැනීමකින් යුතු සැමගේ අවධානයට යොමු විය යුතු කරුණකි. අස්ගිරි පාර්ශවයේ අනු නායක, පදවිය  සේම පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පදවිය හොබවන ඒ හිමියන් කලක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ද සේවය කොට ඇත. එමෙන්ම ඒ හිමියන් පැවිදි දිවියට
මේ වන විට වසර පනස් තුනක් ද සම්පූර්ණ කොට ඇත්තේ අපගේ මුළු ජීවිත කාලය ද ඊට පස් වසරක් අඩුව තිබිය දීය.

බෞද්ධ සූත්‍ර බෞද්ධ සූත්‍ර පිටකයේ ජාතක පාලියේ විස්තර කෙරෙන අන්දමට සිංහල බසින් දස රාජ ධර්ම මෙලෙසිනි. 1. දානය, 2. පරිත්‍යාගය, 3 .ශීලය, 4. තපස, 5. අහිංසාව, 6. අක්‍රෝධය,  7. සෘජුභාවය, 8. මෘදුභාවය, 9 .ඉවසීම, 10.අවිරෝධතාව  එම දස රාජ ධර්ම පිළිබඳ සමස්ත විග්‍රහයකදී පාලකයා තම රට වැසියන් මුල් කොට සමස්ත ජීවී, අජීවී සම්පත් වලින් යුතු රාජ්‍යය වෙනුවෙන් තම ආත්මයම කැප කළ යුතු ය. එහි සත් වැන්න වන සෘජුභාවය යනු සත්‍යය රැක ගැනීමය. ලාභ, කීර්ති, ප්‍රශංසා, හමුවේ රාජ්‍ය ප්‍රතිපත්ති පාවා නොදී සෘජුව, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමත්  මනා විනයකින්,සංවරයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කිරීමත් ප්‍රමාද හා පසුබට නොවී රාජ්‍ය පාලන කටයුතු වල යෙදීමත් මින් අදහස් කෙරෙයි. මෙහිදී රාජ්‍ය පාලනය කෙරෙහි පැහැදුණු අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුණු අය පැහැදෙන ලෙසත් කටයුතු කළ යුතු පාලකයා සත්‍ය ධර්මය හමුවෙහි මලක් මෙන් මුදු මොලොක් වීමත් අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වීමත් අපේක්ෂා කෙරේ.

ඉන් ඉතා පැහැදිලිව පෙනී යනුයේ තම පෞද්ගලික අභිලාෂයන් මත අත්තනෝමත නම් වන හිතුවක්කාරී තීරණ වලට දැහැමි පාලකයන්ට බුදු දහමින් කිසිදු ඉඩක් තබා නොමැති බවයි. ඉහත සඳහන් දස රාජ ධර්ම අතරේ ඇති අට වැන්න මෘදුභාවයයි මෘදු භාවය යනු සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. පාලකයා කිසි විටෙකත් අටලෝ දහම ඉදිරියේ කම්පා නොවිය යුතු ය. සතර බ්‍රහ්ම විහරණය මත පදනම් වන මෘදු සිත අකම්ප්‍ය ගුණයෙන් යුතු විය යුතුය. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. අටලෝ දහම හුරු මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත.සියල්ල උපේක්ෂාවෙන් දරා ගත හැකි වීම ඊට හේතුව ය.

නමුත් අස්ගිරි පාර්ශවයේ අනු නායක  වෙඩරුවේ උපාලි  හිමියන් ඇතුළු මෙරට සංඝ සමාජයෙන් බහු තරය පැරණි බ්‍රාහ්මණ පූජකයන් මෙන් පාලකයන් ගේ සිත් දිනාගෙන අයුතු ලාභ ප්‍රයෝජන ගැනීම පිණිස එම සැබෑ බුදු බණ ජන සමාජයෙන් සඟවා තබන තත්වයක් පෙන්නුම් කෙරේ. මිනිසුන් ගේ දිළිඳු බව මත ඇති වන සදාචාර පිරිහීමත්,ඒ මතින් හට ගන්නා සමාජමය අර්බුද පිළිබඳ බුදුන් වදාළ කරුණුත්  වත්මන් ජන සමාජයෙන් සඟවා තබා අදත් සියල්ල සිදුවන්නේ “කරුමය ” අනුව යැයි බුද්ධ දේශනාවට ඉඳුරාම පටහැනි ලෙස සිතන ලෙස බෞද්ධයන්ට උපදෙස් දීම මොවුන් විසින් කරනු ලබන බරපතල සමාජ අසාධාරණයකි. එබැවින් ,මෙරට සංඝ සමාජය විසින් ජනතාවගෙන් වසන් කරන ලද නිර්ධන පන්ති අරගලය පිළිබඳ විප්ලවීය බුදු බණ පදයක් සිහිපත් කර දෙනු
කැමැත්තෙමි. මේවා වෙඩරුවේ උපාලි අනු නා හිමියන් නොදැන හෝ නොඅසා තිබුණ හොත් එය මහත් පුදුමයකි.

 දීඝ නිකායේ කූටදන්ත සූත්‍රයෙහි සමාජ අර්බුද හෝ සමාජ ප්‍රශ්න ඇතිවන ආකාරය  මනාව විස්තර කොට තිබේ. එපමණක් නොවේ. ඒවායේ හේතුන් ද විභාග කොට බලා රජයේ පුරෝගාමීත්වය යටතේ ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමෙන් ඒවා විසඳාගත හැකි ආකාරය පවා පෙන්වා දී ඇත. එමෙන්ම සාමාන්‍ය සමාජ අර්බුද සඳහා
තුඩු දෙන ආර්ථික විෂමතාවයනට නිසි පිළියම් නොකොට ඒවා ක්‍රමයෙන් වර්ධනය වීමට ඉඩ හැරීම නිසා, රටක, සමාජ හා දේශපාලන සංවිධාන, ආයතන හා සංස්ථාවන් බිඳවැටීමෙන් රටක විප්ලයක් සඳහා  අවශ්‍ය පසුබිම නිර්මාණය වන ආකාරය දීඝ නිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රයෙහි විග්‍රහකොට තිබේ. එහෙත්, ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් සියයට අනූ නවයක්ම මේ ධර්ම කරුණු පිළිබඳ “හාංකවිසියක්” වත් නොදනිති. ඊට හේතුව බණ කීම භික්ෂූන් ගේත් බණ ඇසීම ගිහියන්ගේත් යුතුකමක් හා වගකීමක් ලෙස සමාජය පුරා පැතිර ගත් පොදු මතයයි. එහෙත්, වර්තමාන ගිහි සමාජයේ ඇතැමුන් තුළ යහපත් ධර්ම ඥානයක් පැවතීම මත මෙම කරුණු සම්බන්ධයෙන්
පැවිදි – ගිහි සුසංවාදයක් ඇරඹිය යුතු බව අපගේ පෞද්ගලික අදහස ය.


 දීඝ නිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රය පිළිබඳව විමර්ශනය කරන විද්වත්හු එය පුරාතන භාරතයේ සමාජ හා දේශපාලන චින්තනයේ, වෛදික – බ්‍රාහ්මණ හෝ ජෛන චින්තනයන් හි දක්නට නොලැබෙන විප්ලවීය දේශපාලනික සංකල්පයක් බව කියති. විප්ලවය පිළිබඳ බෞද්ධ මතයට අනුව විප්ලවය යනු අද බොහෝ දෙනකු හඳුන්වන පරිදි කැරැල්ලක් හෝ ත්‍රස්තවාදයක් නොවේ; එය පවත්නා සමකාලීන සමාජ දේශපාලන හා ආර්ථික සංවිධාන උඩු යටිකුරු කොට පෙරළා දමා නව සමාජ දේශපාලන හා ආර්ථික සංවිධානයන් ඇති කළ හැකි චින්තන පෙරලියකි. යම් කිසි සමාජයක මෙවැනි සමාජ විප්ලව ඇති වනුයේ කවර හෙයින් ද? යන්න දේශපාලන දාර්ශනිකයන්ගේ සාකච්ඡාවට පාත්‍ර වී ඇත. සමහර බුද්ධිමතුන් කියනුයේ සමාජයක පවත්නා ආචාර විචාර සම්ප්‍රදායන් බිඳ වැටීම නිසා හට ගනු ලබන විෂම මානව චර්යාවන් පදනම් ව විප්ලව ඇති වෙන බවයි. එහෙත්, මෙයට පටහැනි අදහස් දරන අය කියා සිටිනුයේ තත්කාලීන ආර්ථික විෂමතා නිසා සමාජමය පන්තීන් දෙකක් අතර ඇතිවන ඇතිවන ගැටුම නිසා විප්ලව ඇතිවන බවයි. ධනේෂ්වර ආර්ථික ක්‍රමය තුළ පවත්නා සමාජ, ආර්ථික
විෂමතා විප්ලවයට මඟ පාදන බව ඔවුන් ගේ අදහසය. එහෙත් බුදුන් වහන්සේ විප්ලවය පිටු දැක නොමැති සේම සමාජ විප්ලවය දෙස දාර්ශනික දෘෂ්ඨියක් හෙළු ප්‍රථම ආගමික ශ්‍රාස්තෘ වරයා ද වෙයි  බෞද්ධ සංකල්පයට අනුව විප්ලවයක් ඇති වීමට හේතු කිහිපයක් තිබිය යුතු ය. බුදුසමය ඒක හේතුවාදය බැහැරකොට බහු විධ හේතුවාදය හෙවත් අනේක හේතුවාදය පිළිගන්නා ශාස්තෲ දේශනාවකි.

බුදුසමයෙහි හේතු ඵලවාදය නිවන් පිණිස සේම  ලෞකික යහපැවැත්ම උදෙසා යොදා ගන්නා ආකාරය ද මනාව විස්තර කොට තිබේ. එහි දැක්වෙන විප්ලවය පිළිබඳ සංකල්පයට අනුව  මූලික හේතුවෙන් ඵලයක් ඇති වී පසුව එම ඵලය හේතුවක් වෙමින් ආර්ථික හේතු මත සමාජය හා සංස්කෘතිය හා සාරධර්ම පද්ධතිය ද විපර්යාසයට පත්වෙමින් හේතු ඵල සන්තතිය විකාශනය වන ආකාරය චක්කවත්තී සීහනාද සූත්‍රයෙහි  සූත්‍රයෙහි දක්වා ඇත. නවීන
විග්‍රහයනට අනුව නිර්ධන පන්ති අරගලය පිළිබඳ බුද්ධ දේශනාව මෙම සූත්‍රය මඟින් මනාව විස්තර කෙරේ. එම සූත්‍රයට අනුව, සමාජ අර්බුද හා විප්ලවය ඇතිවීමේ මූල බීජය රට වැසියා තුළ අසමාන ලෙස ධනය බෙදීයෑමෙන් ඇතිවන නිර්ධනභාවයයි.  සමාජ අසමතාව නම් මෙම මූලබීජය වර්ධනය වීම නිසා පිළිගත් සාරධර්ම පද්ධතිය දුර්වල වෙමින් බිඳ වැටෙයි. එය පදනම් කොටගත් සමාජ සම්බන්ධතා ජාලය ද බිඳ වැටී ගොස් ඥාති සම්බන්ධතා හා පවුල් ජීවිතය ද ආකූල ව්‍යාකූල වී මිනිසුන් අතර තිරශ්චීන ආකල්ප (මිගසඤඤං) ඇති වී ඔවුහු තිරිසනුන් මෙන්
එකි`නෙකා කා කොටා ගනිති.මෙය එම සූත්‍රයෙහි දැක්වෙන්නේ “දස්සු ඛීල” යනුවෙනි. මෙහි ඛීල යන්නෙන් බලය අදහස් වන අතර දස්සු යනුවෙන් දාසයන් යන්න හැඟවේ. මෙම දාස යන්න නූතන ව්‍යවහාරයට අනුව වැඩ කරන ජනතාව ය. ඒ අනුව සමාජ අසාමාන්‍යතාව හේතුවෙන් හිස ඔසවන වැඩ කරන ජනතාවගේ නැඟී සිටීම් තුළින්
ඉන්ද්‍රඛීලය නම් වන රාජ්‍ය බලය අභියෝගයට ලක් වනු ඇත. මේ අනුව සමාජයක විප්ලව ඇති වනුයේ සමාජ. ආර්ථික විෂමතා මත අසමාන ලෙස ධනය බෙදී යෑම සහ එහි ප්‍රථිඵලයක් ලෙස අනුක්‍රමයෙන් පිළිගත් ආචාර ධර්ම පද්ධතීන් බිඳවැටීම යන හේතු දෙක නිසා ය.  මීට ඉවහල් වන මූලික හේතුව ආර්ථිකයයි. ඊට හේතුව හේතුව
මිනිසාගේ ජීවන පැවැත්ම පදනම් වනුයේ ආර්ථිකය හෙවත් ජීවත් වීම සඳහා කරනු ලබන විවිධ ක්‍රියාවන් මත වීමය.

චක්කවත්ති සීහනාද සූත්‍ර දේශනාවට අනුව සමාජයේ සදාචාර පරිහානියට පදනම් වන ආර්ථික සාධක පිළිබඳව විස්තර කෙරෙනුයේ චක්‍රාකාර ක්‍රියාවලියක් වශයෙනි. එය මෙලෙස විස්තර කළ හැක. නිර්ධනීන්ට ධනය
නොලැබීම මත, දිළිඳුකම වැඩිවීම, දිළිඳුකම වැඩි වීම මත  සොරකම වැඩි වීම, සොරකම වැඩි වීම මත  අවි ආයුධ බහුල වීම, අවිආයුධ බහුල වීම මත ප්‍රාණඝාත බහුල වීම, ප්‍රාණඝාතය බහුල වීම මත ආයු, වර්ණ ආදිය පිරිහීම ආදී
වශයෙන් මෙම සදාචාර අවනතිය විස්තර කෙරෙන එම සූත්‍රයේ එම චක්‍රය තව දුරටත් මෙසේ ගෙන හැර දැක්වෙයි. ආයු වර්ණ ආදිය පිරිහීම මත ගුණ ගරුක බව පිරිහී දෙමාපිය වැඩිහිටියනට නොසැලකීම් බහුල වේ. 

දෙමාපිය වැඩිහිටියනට නොසැලකීම් මත විනය සදාචාරය සංවරය නොමැති වීමෙන්කේලාම් කීම් ආදිය බහුල
වේ. කේලාම්කිරීම ආදිය බහුල වීම මත කාම මිථ්‍යාචාරය ආදිය බහුල වේ.කාම මිථ්‍යාචාරය බහුල වීම මත  පරුෂ වචන, සම්පප්‍රලාප ආදිය බහුල වේ.පරුෂ වචන සම්පප්‍රලාප වීම මත අභිධ්‍යා ව්‍යාපාද බහුල වේ. අභිධ්‍යා ව්‍යාපාද බහුල වීම මත  මිථ්‍යා දෘෂ්ටි බහුල වේ.මිථ්‍යා දෘෂ්ටිය බහුල වීම මත අධර්මරාග විෂම ලෝභ මිථ්‍යාධර්ම සහ බාලවයස් විවාහ බහුල වේ. මෙසේ ක්‍රමයෙන් සදාචාර ධර්ම පිරිහී, මේ තමන් ගේ මවය, මේ නැන්දනිය ය, මේ ගුරුවරයාගේ භාර්‍ය්‍යාවය වශයෙන් වෙන්කර හඳුනා ගැනෙන සදාචාරාත්මක මිනුම් දඬු සමාජයෙන් දුරු වී යයි.. මානවයා විසින් ගොඩනඟාගත් සදාචාර, සංස්කෘතික භාවිතයන් අභාවයට යයි. දෙමාපිය දූ දරු ආදිය අතර පවා වෛරී සිතුවිලි  පහළ වෙයි. සමාජයෙහි වධක චේතනා බහුල වී ආයුධ සන්නද්ධ යුගය, හෙවත් අවි ආයුධ වලින් ප්‍රශ්න විසඳා ගන්නා යුගය (සත්‍තන්තර තප්ප) පහළ වී මෘග සංඥාවෙන් ඔව්නොවුන් මරා ගැනීම ආරම්භ වේ. මෙය කෙමෙන් සමස්ත සමාජයේ ම පැතිරී යයි.අප ජන සමාජයේ “මුරුගසන් වරුසාව” යනුවෙන් පැවසෙනුයේ මෙයයි.

එම වර්ෂාවෙන් ආයුධ වැසි වසින බවත් ඒවාට කැපී කෙටී මිනිසුන් විශාල වශයෙන් මිය යන බවත් ජන වහරෙහි එයි. මේ ආයුධ වැස්ස යනු සමාජය තුළ හිංසන ක්‍රියා බහුල වීම කාව්‍යාත්මකව ඉදිරිපත් කිරීමකි. මෙහි නවීන ව්‍වයහාරය ගිනි අවි හා පාතාල සංස්කෘතිය ලෙසින් ගත හැක. මෙම මහා මිනිස් සංහාරයෙන් පසුව ඉතිරි  වූ අය නිසරු දෙය කුමක්ද? සරු දෙය කුමක්දැයි සාකච්ඡා කොට නව සමාජයක් නව  සංස්කෘතියක් නිර්මාණය කර
ගැනීමට උත්සාහ දරන බව එම සූත්‍රයෙහි ප්‍රකාශිත ය. චක්කවත්ති සීහනාද සූත්‍රයේ එන විප්ලවය පිළිබඳ මෙම සංකල්පය ප්‍රංශ විප්ලවය වැනි ලෝකයේ ඇති වූ මහා විප්ලවයන් ගේ ඉතිහාසය සමඟ තුලනය කොට බලා එම බෞද්ධ සංකල්පය තුළින් පැවසේන සමාජ යථාර්ථය වටහා ගත හැක.චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි නිරූපිත
සමාජ විපර්යාසය හුදෙක් විප්ලවය පිළිබඳ ඓතිහාසික හෝ සමාජ විද්‍යාත්මක විමර්ශනයක් නොවේ. කවර හෝ සමාජයක ආර්ථික අසමානතා නිසා  ඇතිවිය හැකි සදාචාරාත්මක අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දාර්ශනික විග්‍රහයකි. 

ආර්ථිකය යනු සමාජ පරිණාමයේ හා විපර්යාසයේ අවියෝජනීය සාධකයක් නිසා මිනිසුනට ජීවිතය පවත්වා ගෙන යෑමට අවශ්‍ය ආර්ථික සම්පත් සාධාරණ ලෙස නොලැබීම අනිෂ්ට ප්‍රතිඵල උදා කරන්නක් බව වටහා දෙන දේශනාවකි.


චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි එන කතා පුවතකට අනුව නිර්ධනීන් සොරකම් කළ විට රාජ පුරුෂයන් විසින් සොරුන් රජතුමා හමුවට පත් කරනු ලැබේ. එවිට රජතුමා සොරුන්ගෙන් සොරකම් කළ බව ඇත්තදැයි විමසූවිට ඔව්හු “එසේය” කියති. කවර හේතුවක් නිසා එසේ කෙළේදැයි ප්‍රශ්න කළ විට ජීවත්වීමට මගක් නොමැති නිසා
(“නහි දේව ජීවාමි”) එසේ කෙළෙමු යයි පිළිතුරු දෙති. එවිට රජු සොරුනට ධනය දී, එම ධනයෙන් තමන් ද ජීවත් වන අතර, දෙමව්පියන් ද පෝෂණය කොට එම ධනයෙන් කොටසක් යොදවා කර්මාන්තයක් ආරම්භ කරන ලෙස ද කියා ඔවුන් නිදහස් කරයි. මින් අනතුරුව සොරකම් කරන්නවුනට රජතුමා ධනය දී නිදහස් කරන බව දැනගත් වෙනත් අය ද සොරකම්කිරීමට පෙළඹෙති. අනතුරුව, රජතුමා එම සොරුන් කැඳවා නගරයේ  වීථි සංචාරය කරවා එම සොරුන්ගේ හිස සිඳ මරා දැමීමට නියම කරයි.

මින් පසු මෙයට ප්‍රතික්‍රියාවක් ලෙස සොරුන් ද සංවිධානාත්මක ලෙස අවි ආයුධ සාදවා මිනිසුන් ගේ දේපොළ සොරකම් කිරීම හා ගම් නියම් ගම් පැහැරීම ද ආරම්භ කරති. මෙසේ නිර්ධනීන්ට ධනය නොලැබීම නිසා දිගින් දිගට සොරකම හා මනුෂ්‍ය ඝාතන බහුල වෙයි. මෙම තත්ත්වයෙන් පෙනී යනුයේ දුගී දුප්පත්කම නැති කිරීම සඳහා රජතුමා අනුගමනය කළ පැලැස්තරවාදී විසඳුම් වල අසාර්ථකත්වයයි. මේ අනුව, නිගමනය කළ යුතු වනුයේ රටක පවත්නා පොදු සමාජ ප්‍රශ්න හුදු කේවල හෙවත් පෞද්ගලික මට්ටමෙන් විසඳාලිය නොහැකි බව ය. ඒ සඳහා සාකල්‍ය ප්‍රවේශයක් අවශ්‍ය බව ය. බුදුන් වහන්සේ මෙම සමාජ අර්බුදය කෙතෙක් දුරට බැරෑරුම් ලෙස සලකන ලද්දේ ද යන්න ආර්ථික විෂමතා නිසා උද්ගත විය හැකි විනාශය ගැන සූත්‍රයෙහි සත්වාරයක්ම අවධාරණය තිබීමෙන් පැහැදිලි ය. ත්‍රිපිටකයෙහි  අන් කිසිදු තැනක එකම කරුණක් ගැන මෙසේ සත්වාරයක්ම අවධාරණය කිරීමක් ගැන මම නම් නොදනිමි. එතරම් උතුම් විප්ලවීය බුද්ධ දේශනාවක් අද වන විට සංවිධානාත්මක ලෙස අප ජන සමාජයෙන් සඟවා තබමින් හුදෙක් පාලකයන් පිනවීම පිණිස බුදු බණ කණ පිට ගැසීම අනාගතයේ මෙරට සංඝ සමාජය දැඩි සමාජ ද්වේෂයකට ලක් විය හැකි කරුණක් බවත් ත්‍රිපිටක සාහිත්‍යයේ එන චක්කවත්ති රජු හිට්ලර් කෙනකු නොවන බවත් අස්ගිරි  පාර්ශවයේ අනු නායක  වෙඩරුවේ උපාලි  හිමියන් ඇතුළු එම මං පතට පිවිස සිටින සියළුම භික්ෂුන් වහන්සේලා දැන්ම තේරුම් ගෙන සිටීම නුවණට හුරුය.


ශාස්ත්‍රපති දිවුල්වැවේ ජිනරතන හිමි

t

o

p