අප සමාජයේ නපුරු,ප්‍රචණ්ඩ ගතිගුණ ඇති මිනිසුන් හැඳින්වීම පිණිස ‘වෙසමුණියා වගේ’ යන්න ද යමකුගේ අධික කෝප ගැන්වීම හැඳින්වීම පිණිස ‘වෙසමුණියා ආරූඪ වෙලා’ යන්න ද යොදනු අපි කොතෙකුත් අසා ඇත්තෙමු. ඒ අනුව “වෙසමුණියා” යන වදන ශ්‍රී ලාංකේය ජන සමාජයට කෙසේවත් ආගන්තුක නොවේ.
මීට අමතරව අපට මෙම වෙසමුණි නාමය අසන්නට ලැබෙනුයේ බලි, තොවිල්, ශාන්තිකර්ම ආදියේදී ය. ඒවායේ දී ආතුරයන් ලෙස හැඳින්වෙන රෝගීන්ට වින කරන යකුන්ගේ චරිත නිරූපණය කරන නැට්ටුවන් තමන් ඒ සඳහා ‘වෙසමුණිගෙන් වරම් ගත්’ බවක් කියනු අපි අසා ඇත්තෙමු. මෙහි දී වෙසමුණි වරම යන්නෙන් හැඳින්වෙනුයේ යක්ෂයකුට, ප්‍රේතයකුට හෝ කුම්භාණ්ඩයකුට එවැනි කටයුත්තක් සඳහා ලැබෙන නිල අවසරයයි.
‘‘බුදුන්ගේ තෙද අණ පවතින මේ භූමියට පැමිණි තෝ කවුද?’’ ශාන්තිකර්ම ඇදුරා යක්ෂයා ලෙසින් රඟපාන නළුවාගෙන් අසනුයේ කිසියම් තර්ජනාත්මක ස්වරූපයෙනි. එහි දී තමන් ද කිසියම් බලසම්පන්නයකු බව හැඟවීම පිණිස ඒ යක්ෂයා තමන් ‘වෙසමුණිගෙන් වරම් රැගෙන’ පැමිණි බවක් පවසනුයේ තමන්ගේ එම අමනුෂ්‍ය ක්‍රියාව සාධාරණය කිරීම පිණිස ය. ඒ අනුව වෙසමුණි වරම යන්න කිසියම් නපුරු, දුෂ්ඨ. අයහපත් ක්‍රියාවක් සඳහා ලැබෙන නිල අවසරයක් සේ ද පෙනෙයි.
අපගේ ජන සම්මතයට අනුව වෙසමුණි යනු සියලු යක්ෂයන්ගේ
නායකයා ය. එබැවින් ඔවුන් තම සියලු යක්ෂ ක්‍රියාකාරකම් සිදු කරනුයේ වෙසමුණිගේ වරම්
ගැනීමෙන් පසුව බව පෙනේ. ඒ අනුව තමන්ගේ නායකයාගේ අවසරය, අනුදැනුම මත
පමණක් ක්‍රියා කිරීමෙන් යක්කු මිනිසුන්ට වඩා කිසියම් විනයවත් බවක් පළ කරති.
ඉන්පසුව එම බලි තොවිල් ශාන්තිකර්ම ආදී ‘ජන රංගන’ රැයක් පහන්වන තුරාවට
යකුන්ගේ පක්ෂය සහ බුදුන්ගේ පක්ෂය අතර ඇතිවන ගැටුමක් විවාදයක් ලෙස ඇරඹී පසුව ඒ දෙපාර්ශ්වය
අතර ඇතිවන සුසංවාදයක් ලෙසින් නිමා කෙරේ. එහි දී සෑම බලි, තොවිල්, ශාන්තිකර්මයක්ම
පාහේ නිමා වනුයේ ඇදුරන් නියෝජනය කෙරෙන බුදුන්ගේ
පාර්ශ්වය ජය ගැනීමෙන් සහ ඊට එරෙහි යකුන්ගේ පාර්ශ්වය
පරාජයට පත් වීමෙනි.
නවීන විද්‍යාත්මකව බලන විට යම් නොවිධිමත් ස්වරූපයකින් යුතු වුව ද කිසියම් මනෝ චිකිත්සකමය අදහසකින් යුතු මෙම බලි තොවිල් ශාන්තිකර්ම මගින් ඇතැම් මනෝ කායික අර්දබු සුවපත් වන බව මේ වන විට විද්වත් සමාජයේ බොහෝ දෙනෙක් ද පිළිගනිති. මෙහි විශේෂත්වය වන්නේ එම බලි තොවිල් ශාන්ති කර්ම ඉලක්ක කර ගත් රෝගියා කෙරෙහි මෙන්ම එය නරඹන්නවුන් වෙත ද එම මනෝ චිකිත්සක බලපෑම එල්ල වීම ය.
මෙලොව වෙසෙන සියලු යකුන් හට නායකත්වය දෙන ‘වෙසමුණි’ යක්ෂයකු නැතහොත් කාටත් වැටහෙන ලෙසින් කිවහොත් “ජරා යකෙකු” මිස දෙවියකු වන්නේ කෙසේද? යන්න බොහෝ දෙනකුගේ සිත් තුළ ස්වභාවිකවම හට ගත හැකි ගැටලුවකි. එහෙත්, මෙම වෙසමුණි යනු බෞද්ධ සාහිත්‍යයේ එන සතරවරම් දෙවි රජවරුන්ගෙන් පළමු වැන්නා වන වෛශ්‍රවණ බව රහසක් නොවේ. බෞද්ධ සාහිත්‍යයේ එන සියලු දේව නාම පාලි භාෂාවෙන් දැක්වෙන අතර ‘ශක්‍ර’ යන සංස්කෘත බසින් හැඳින්වෙන චාතුර්මහාරාජිකය, තාවතිංසය වන දෙදෙව්ලොවට අධිපති දෙව් රජුගේ නාමය පාලි ග්‍රන්ථවල සඳහන් වනුයේ ‘සක්ක’ යනුවෙනි. එමෙන්ම වෙසමුණි
යනුවෙන් ව්‍යවහාර වන වෛශ්‍රවණ දෙවියන් පාලි සාහිත්‍යයෙහි ‘වෙස්සවන’ ලෙසින් හඳුන්වා තිබේ. නමුත් ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ අදහනු ලබන දෙවි දේවතාවන් අතරේ මෙම ශක්‍ර දේවේන්ද්‍රයා හෝ වෛශ්‍රවණ මුල් කොට ගත් සතර වරම් දෙවිවරුන් නොමැති බව ද කිව යුතු ය.
වෙසමුණි, වෛශ්‍රවණ හෝ වෙස්සවන යක්ෂයන්ගේ නායකයා බව ද බෞද්ධ සාහිත්‍ය කෘතීන්ගෙන් පැහැදිලි වෙයි. දීඝ නිකාය අට්ඨ කතාවට අනුව ඔහුට ඇත්තේ සුළුපටු සේනාවක් නොවේ. එහි ප්‍රමාණය කෝටි ලක්ෂයකි. එම අට්ඨ කතාවට අනුව අති සුවිසල් යක්ෂ සේනාවක ප්‍රධානියා වුව ද වෙස්සවන බුදු රදුන්ගේ සමීපතමයෙකි. එසේ නම් ඔහු නපුරු රෞද්‍ර ගතිගුණ වලින් යුතු වනුයේ කෙසේ දැයි යන පැනය අප තුළ ඇතිවෙයි. එසේම මනා හික්මීමකින් යුතු ඔහු බුදු බණ ඇසීමට ද අතිශයින් ප්‍රිය වූවෙකි. අංගුත්තර නිකායේ සත්තක වග්ගයේ මහා යඤ්ඤ වග්ගයෙහි දැක්වෙන අන්දමට වරක් මෙම වෙස්සවණ වේළුකණ්ටකී නන්ද මාතාව අලුයම පරාසන ධර්මය කියවන විට එය අවසන් වනතුරු අසා සිට අවසානයේ ඇයට මහත් සේ ප්‍රශංසා කර තිබේ.
වෙසමුණි සේම අප සමාජයේ බොහෝ දෙනෙකුන් විසින් හඳුන්වන ‘කුවේර’ නාමයෙන් හැඳින්වෙනුයේ ද මෙම වෛශ්‍රවණ හෙවත් වෙස්සවණමය. සියලු දෙවිවරුන් අතුරින් ලෞකිකත්වයට, ධනයට අධිපති ඔහු පිළිබඳව සංස්කෘත සාහිත්‍යයේ ද නොයෙකුත් තොරතුරු සඳහන්ය. සිංහලයෙන් ඇතැම් රජ දරුවන් සහ ප්‍රභූවරුන් හැඳින්වුණු වත්හිමි හෙවත් වස්තු ස්වාමී යන නමින් හැඳින්වෙන කුවේර හෙවත් කුභේර රාවණාගේ අර්ධ සොයුරෙකු ලෙසින් සංස්කෘත සාහිත්‍යයේ දැක්වෙයි. වර්තමාන සමාජ පුරුෂාර්ථ අතර බලයට සහ ධනයට ප්‍රධාන තැනක් හිමි වෙයි. සංස්කෘත සාහිත්‍යයේ එන දේව කතා අනුව බලයට සහ ධනයට අධිපති වශයෙන් සැලකෙන කුවේර සතුව කිසිදු මිනිසෙකුට හෝ දෙවියකුට අවසන් කරගත නොහැකි නිධාන හෙවත් නිධි නවයක්ම තිබේ. එහි ප්‍රමාණයන් ගණනය කිරීම අනෙකෙකුට තබා ඔහුටවත් නොහැකි බව කියනු ලැබේ. එහෙත් ඇතැමුන් අර්ථ දක්වනුයේ බලයට අධිපති වෙසමුණි සහ ධනයට අධිපති කුවේර මුල දී දෙවිවරුන් දෙදෙනකු සේ හඳුන්වන ලද අතර පසු කලෙක මෙම බලය සහ ධනය යන කරුණු දෙකම මුල් කොටගත් එකම දේවත්වයක් ලෙස මෙම ‘වෙසමුණි – කුවේර’ සංකල්පය ප්‍රවර්ධනය වී ඇති බවකි. මෙම ධනය සහ බලය මුල් කොට ගත් කුවේරගේ බලය ශක්තිය නූතන සමාජයේ ද ප්‍රධාන පුරුෂාර්ථයක් වී තිබේ. සංස්කෘත සාහිත්‍යයේ දැක්වෙන අන්දමට කලින් ලංකා රාජ්‍යය පාලනය කළ කුවේර එය අහිමි වීමෙන් පසු පුෂ්පක විමාන නම් දඬුමොනරයෙන් ලොව පුරා සැරිසරා අවසානයේ සුගන්ධර පර්වතය මුදුනේ පිහිටි ආලකමන්දාව තම වාස භවනය කරගෙන තිබේ. අප රටේ කෙටි කලක් තුළ ව්‍යාප්ත වූ සීගිරිය, දඹදෙණිය, යාපහුව වැනි පර්වත රාජ්‍ය සංකල්පය ද මෙම කුවේරගේ ආලකමන්දාව මුල්කොට ඇති වූවක් බව කියනු ලැබේ. වර්තමානයේ පවා සීගිරිය ආලකමන්දාවක් ලෙස හැඳින්වෙන අතර කුවේර හඳුන්වන එක් නාමයක් වනුයේ ‘ගිරි රාජ’ යන්නය.
කෙතරම් සුවිසල් බලයක් සහ ධනයක් තිබුණ ද වෙසමුණිට
හෙවත් කුවේරට ඇත්තේ අතිශය විරූපී ශරීරයකි. පාද තුනකින් යුතු ඔහුගේ එක් පාදයක් කොරය.
අත් දෙකකින් සහ දත් දහ අටකින් යුතුය. ශරීර වර්ණය සුදුය. කෙතරම්
විරූපී වුව ද ඔහු රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් සිරුර හැඩගන්වා ගෙන තිබේ. වර්තමානයේ වුවද ඇතැම් ධනවතුන් වටිනා මාල, මුදු, සහ අත් පළඳනා
කෙරෙහි උනන්දුව පළ කරන බව නොරහසකි. කුවේර හෙවත් වෛශ්‍රවණගේ වාහනය පුෂ්පක විමාන නම්
දඬුමොනර ගණයේ එකක් වුව ද මහාවංශයේ විසි හත්වන පරිච්ඡේදයේ සඳහන් ලෝවා
මහාපාය පූජා කිරිම සම්බන්ධ විස්තරයේ දී දුටුගැමුණු රජු වෛශ්‍රවණගේ
නාරි වාහන නම් යානාව බඳු රත්න මණ්ඩපයක් තැනූ බව ලියැවී තිබේ. ඒ අනුව
මහාවංශය ලියැවුණු පස්වන සියවසේ පවා මෙම වෙසමුණි
වෛශ්‍රවණ හෝ වෙස්සවන පිළිබඳ ජන විශ්වාසය මෙරට පැවැති බව පැහැදිලි වෙයි.
මේ සියලු තත්ත්වයන් යටතේ බලය සහ ධනය පරමාදර්ශයට පත්
වත්මන් සමාජයේ මෙම වෙසමුණි කුවේර වන්දනයක් ප්‍රවර්ධනය වී නැතත් බලය හා ධනය මත
ස්ථාපිත සමාජ පුරුෂාර්ථය සහ එම ඉලක්කය වෙත සමීප වූවන් වන්දනීය තත්වයෙහි ලා
සැලකීමෙන් අනියමින් හෝ මෙම වෙසමුණි කුවේර වන්දනය වත්මන් සමාජයේ ද ප්‍රවර්ධනය
වෙමින් පවතින බව පිළිගන්නට අපට සිදුවෙයි.
.තිලක් සේනාසිංහ