මුතුරාජවෙල පරිසර විනාශයට එරෙහිව”ආච්චිලාගෙනුත් ගේම් එකක්!

February 2, 2021


ගත වූ කාලය තුළ මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිත පරිසර පද්ධතියට සිදුව ඇති පරිසර හානි සම්බන්ධයෙන් තක්සේරු කොට වාර්තාවක් සැපයීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස්  දී තිබේ.

මැල්වත්ත ප්‍රොපටි ඩිවලපර් ප්‍රයිවට් ලිමිටඩ් නම් නාමික  සමාගමක් විසින් පසුගිය කාලය පුරා මෙම පරිසර පද්ධතියට කළ හානිය  මේ අනුව  විමසුමට ලක් විය යුතු යැයි පවසන ප්‍රදේශවාසී හු එහි දී ඔහුගේ බලපෑම් මත තම  රාජකාරිය අවභාවිතා කරමින් එම පුද්ගලයාට නීති විරෝධී ලෙසින් මුතුරාජවෙල ඉඩම් අත්පත් කර ගැනීමට වංචනික සහයෝගයක් දැක් වූ නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙම විමර්ශනයේ දී අවධානය යොමු කළ යුතු බව
කියති.

මේ අතර මුතුරාජවෙල පරිසර විනාශයට එරෙහිව නැඟී සිටි ප්‍රදේශ වාසීන් අවස්ථා ගණනාවක දීම මැර ප්‍රහාර වලට ලක් වීමෙන් පසු මුතුරාජවෙල අභය භූමි සීමාවන් හි එය “මැල්වත්ත ප්‍රොපටි ඩිවලපර් ප්‍රයිවට් ලිමිටඩ්” සතු දේපලක්
බව සඳහන් කරමින් සවි කොට තිබූ නීති විරෝධී පුවරු ගැල වූ කිහිප දෙනෙක් ද මැර ප්‍රහාරයන්ට ලක් වූහ. එමන්ම එසේ පුවරු ගලවන අයුරු වීඩියෝ කර දෙන්නවුන්ට මුදල් දෙන පිරිසක් ගැන ද අසන්නට ලැබිණ.  එබැවින් පසුව එම පුවරු ගැලවීම වයස අවුරුදු හැට හැත්තෑව ඉක්මවූ කතුන් විසින් සංවිධානාත්මක ලෙස කරන ලද අතර
සෙසු පිරිස් විසින් එය හඳුන්වන ලද්දේ “යකඩ ආච්චිලාගේ ගේම් එක” යනුවෙනි. එහෙත්, එම කතුන් පවසනුයේ මෙය තමන් ගේ පාරම්පරික උරුමය තම ජීවිත කාලය තුළ වැනසී යනු දැකීමට නොහැකිව “මරිය හමුදාව” නම් කතෝලික කාන්තා එකමුතුවක දී ඊට එක් වූ කාන්තා පිරිසක් විසින් ගනු ලැබූ පොදු තීරණයක් බවයි. සිදුව ඇති
පරිසර හානි තක්සේරු කිරීම, එම පරිසර හානි වළක්වා ගැනීම හා පරිසර හානි සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් ගතයුතු  ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම ද පත් කෙරෙන විශේෂඥ කමිටුව මඟින් සිදු කෙරෙන බව දැන ගන්නට ඇත.


මෙම කමිටුව සඳහා කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්, වාරිමාර්ග අමාත්‍යංශය, ඉඩම් ගොඩකිරීමේ මණ්ඩලය, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශ, හා පරිසර අමාත්‍යාංශ ඇතුලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළත් කෙරෙන අතර ඒ ඒ ආයතනවලින් පත් කරන
නියෝජිතයා පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදාල ආයතන ප්‍රධානීන් වෙත මේ වන විට දන්වා තිබේ.


එමෙන්ම ප්‍රදේශවාසීන් වැඩි දුරටත් පවසනුයේ මුතුරාජවෙලට “ශාපයක්” වූ එම නාමික සමාගම හිමි පුද්ගලයා ඇතුළු පිරිස හිරේ විලංගුවේ වැටෙන දිනට අහල පහල ගම් හතකම රතිඤ්ඤා පත්තු වන බවකි.


 දමයන්ති ගමගේ

t

o

p