මිනිසුන් ලෙඩ කරන ෆ්‍රයිඩ් රයිස් සංස්කෘතියට එරෙහිව සිතට ගතට සුව දෙන හත් මාළුව සමඟ බත්!

January 27, 2021



අතීතය හා සසඳා බලන විට වර්තමානයේ අප රටේ නාගරික සේම ගම්බද බොහෝ දෙනෙක් ද “කඩ කෑම” වලට ඇබ්බැහි වී සිටිති. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස් ආදී  ආහාර වලට මුල් තැනක් ලැබෙන මෙම කඩ කෑම ව්‍යාපාරය අද වන විට තීව්‍ර තරඟයකට මුහුණ දෙමින් සිටියි. එනිසා, මිනිස් ශරීර වලට සිදු විය හැකි අහිතකර බලපෑම් ගැන කිසිත් නොසිතා තම ආහාර වල රසවත් බව වැඩි කර ගැනීම පිණිස ඒවාට වැඩි වැඩියෙන් කෘත්‍රිම රසකාරක ආදිය මුසු කිරීමට බොහෝ ව්‍යාපාරිකයන් පෙළඹී හිදිනු දක්නට පුළුවන. මේ තත්වය යටතේ එසේ මිනිස් සිරුරු වලට අහිතකර නොවන සේම පෝෂ්‍ය ගුණයෙන් සපිරි අප රටේ පාරම්පරික ගැමි ආහාර නූතන සමාජය හමුවට ගෙන එන්නට තානායම් සහ භෝජනාගාර සේවයේ තිස් වසරක පළපුරුද්දක් හා අත් දැකීම් ඇති සූපවේදියෙකු ඉදිරිපත්ව සිටියි. ඔහු බෙලිහුල්ඔය සම්පත් නිශාන්ත වෙදගේය. දැන් ඔහු කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාලවිය හන්දියෙන් වමට හැරී කිලෝමීටරයක් පමණ යන විට පාරේ දකුණු පැත්තේ හමුවන ග්‍රීන් ලැගුන් රෙස්ටෝරන්ට්  නම් පරිසර බොජුන් හල පවත්වා ගෙන යයි. රාජ්‍ය අංශයේ ව්‍යාපෘතියක් සේ ඉදි කෙරුණු එය පිහිටා ඇත්තේ පුත්තලම කලපුවට මායිම් වූ මනස්කාන්ත කඩොලාන පරිසර පද්ධතියක් කේන්ද්‍ර කර ගනිමිනි. එනිසා  කවර ග්‍රීෂ්ම කාලයක වුව විදුලි පංකාවක අවශ්‍යතාව මෙම බොජුන් හලේ ගත කරන්නවුන්ට නොදැනේ.


හත් මාළුව යනු අප කොතෙකුත් අසා ඇති ව්‍යංජනයකි. බොහෝ දෙනෙකු මෙම හත් මාළුව හඳුනා ගෙන ඇත්තේ සිංහල අලුත් අවුරුදු කෑම මේසයට එන එක් ව්‍යංජනයක් ලෙසින් පමණි. එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසා බැලීමේ දී පෙනී යන්නේ අපගේ දේශීය ආහාර සංස්කෘතිය තුළ මෙම හත් මාළුවට ඊට වඩා වැදගත් තැනක් හිමිව තිබූ බවකි. මෙම හත් මාළුව සම්බන්ධ යටගියාව පිළිබඳ නිශ්චිත තොරතුරු නැතත් මහනුවර රාජධානී සමය තුළ විවිධ ස්වරූපයේ හත් මාළු ප්‍රචලිතව තිබූ බව පෙනේ. පාරම්පරික හේන්, කුඹුරු ගොවිතැනේ යෙදුණු ජනතාව ආහාර පිසීම සඳහා ගනු ලබන කාලය. ශ්‍රමය අවම කර ගැනීම පිණිස බත් සමඟ අනුභව කරන සියළු ව්‍යංජන එක් කොට එකම ව්‍යංජනයක් සේ පිසීමේ සිට පත්තිනි දේවතාවිය මුල් කොට සිදු කරනු ලබන බාරහාර වලින් පසු එය ඉටු කරන තෙක් ගනු ලබන පේවීමේ ආහාරයක් ලෙස භාවිතා කරනු ලබන හත් මාළුව ප්‍රාදේශීය වශයෙන් ද වෙනස් වන්නකි. එමෙන්ම වර්තමානයේ භාවිතා කරන අන්දමට හත් මාළුව තවත් එක් ව්‍යංජනයක් නොවූ බවත් බත් සමඟ අනුභව කරනු ලබන සියළු ඊට අන්තර්ගත ව තිබූ බවත් නොරහසකි. සිංහල අවුරුදු කෑම මේසයට ගන්නා හත් මාළුව එම පැරණි ආහාරයේ සංකේතයක් සේ පෙනෙයි. සම්පත් නිශාන්ත තමන්ගේ මෙම ඉදිරිපත් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ නුවර කලාවිය හෙවත් වත්මන්  අනුරාධපුර දිස්ත්‍රික්කය ආශ්‍රිත කෘෂිකාර්මික සමාජයේ සියවස් කිහිපයක සිට මෑතක් දක්වා පැවැති හත්මාළුවකි. මුල දී නුවර කලාවියේ ගොවි සමාජයේ ව්‍යාප්තව තිබූ මෙය පසුව පදවිය වැනිසංවර්ධන යෝජනා ක්‍රම සඳහා පිට පළාත් වලින් පැමිණි ශ්‍රමිකයන් නතර වී සිටි වාඩි වලද පිසූ බැවින් මෙය වාඩි බත ලෙස ද හඳුන්වා ඇත. මෙම කෑම වට්ටෝරුව ඔහුට ලැබී ඇත්තේ
අනුරාධපුර, පෙරිමියන්කුලමේ ඩී.එම් මුතුබණ්ඩා මහතාගෙනි.

ගෙඩි, ඇට, කරල්, කොළ, අල, මල් යන ශාක කොටස් හයක් සමඟ වැව් හෝ මුහුදු කරවල යොදා සකසන මෙම හත්මාළුව එකල හේනේ දී, කමතේ දී නිවසේ දී ආදී වශයෙන් භේදයකින් තොරව ආහාරයට ගැනුණු බවක් පැවසෙයි. සම්පත් විසින් කොට ඇත්තේ තමන් තුළ ඇති සූප ශාස්ත්‍ර හැකියාව අනුව එම ද්‍රව්‍ය ඇසුරින් එම පැරණි  හත් මාළුව වඩාත් දියුණු ස්වරූපයකින් ඉදිරිපත් කිරීම පමණි. වියළි කලාපයේ වැවෙන බව බෝග වලින් පමණක් සැකසෙන මෙම හත් මාළුව සඳහා කිසිදු උඩරට එළවළුවක් යොදා නොගැනීම ද විශේෂත්වයකි.


පෙනුම, සුවඳ හා රසවත් බව අතින් ඉහළම තැනක් ගන්නා මෙම වාඩි බත පිළිබඳ තවත් විශේෂත්වයක් වන්නේ මෙම කෑම වේලක්  ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස් යන කඩ කෑම වලට සාපේක්ෂව අවම මිලකට ලබා දිය හැකි වීමය. පපඩම්, මිරිස් බැදුමක්, ඔම්ලට් එකක් යන අතිරේක අංග ද සමඟ මෙම කෑම වේලක් රුපියල් දෙසියයකට ලබා දිය හැකි බව සම්පත් කියයි. දේශීය, හෙළ ආදී ජනකාන්ත වදන් වලට ඇති ජනතා ආකර්ශනය මුල් කොට යහපත් සේම අයහපත් දේ ද වැඩි වැඩියෙන් ජනතාව අතරට පත්වන වර්තමානයේ සැබෑ දේශීයත්වයයෙන් පිට පැන අධික රුධිර පීඩනය, අධි කොලෙස්ට්‍රෝලියතාව, දියවැඩියාව, හෘදයාබාධ ආදී බෝනොවන රෝග වපුරුවන වත්මන් කඩ කෑම සංස්කෘතියේ සුළු හෝ වෙනසක් කිරීමට තමන්ගේ මෙම නව ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි සම්පත් කියයි. එමෙන්ම කොළඹ පුත්තලම මාර්ගය ඔස්සේ පාලවිය හරහා අනුරාධපුරයට, තලවිල දේවස්ථානයට හෝ මන්නාරම, වව්නියා, යාපනය දෙසට ගමන් කරන ඔබට සම්පත් විසින් අතීත රජ රට ගැමි සමාජයෙන්  නූතනයට ඉදිරිපත් කරන මෙම සැබෑ හෙළ දේශීය වාඩි බතක රස බැලීමට අවශ්‍ය නම් 0776233419 අංකය ඔස්සේ ඔහු අමතා ඒ පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිය. එය එක් අතකින් නූතන සමාජයේ සෞඛ්‍යමය යහ පැවැත්ම උදෙසා ඔහු විසින් ගනු ලබන මෙහෙවරට ඔබ වෙතින් හිමි කරනු ලබන සුළු හෝ දායකත්වයක් ද වනු නියතය.

තිලක් සේනාසිංහ

t

o

p