බහිරවයා මරා නිදන් පැහැර ගැනීම

October 20, 2020

ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දියගම්පල නම් ගම්වරයක් ඇත. ඉතා පිරිසිදු ජලය ලබා ගත හැකි ස්වභාවික ජල මූලාශ්‍ර බොහොමයක් පිහිටා තිබීම මත එයට ඒ නම ලැබී තිබේ.

බස්නාහිර පළාතට අයත් ගම්පහ දිස්ත්‍රික්කයටත්, වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් මායිම් වන මාඔය සමීපයේ කොටදෙණියාව ආසන්නයේ පිහිටි මෙම දියගම්පල ආශ්‍රිතව හල්ඔලුවකන්ද නම් පර්වත වැටියක් පිහිටා ඇත.

එහි මුදුනෙහි අක්කර පහළොවක පමණ වපසරියෙන් යුතු ලොලුව නම් වනරක්ෂිතයකි. මෙය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන යෝජිත රක්ෂිතයක් ද වෙයි. මෙම ලොලුව රක්ෂිතය හා හල්ඔලුකන්ද මුල් කොට එදා මෙදා තුර ජන විඥානයේ රැඳී පවත්නා විශ්වාස රැසක් ඒකරාශි කර ගැනීමට පසුගිය කාලයේ ඒ සම්බන්ධයෙන් කරන ලද විමසුම් වලදී මට හැකිවිය.

ලොලුව වනරක්ෂිතය, හල්ඔළුවකන්ද සහ එහි එක් මුදුනක් වන වෙහෙරගලකන්ද සහ එම උස් බිම් පද්ධතිය හා සම්බන්ධ එරබද්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය හා සබැඳි ජනප්‍රවාද ගත ඉතිහාස කතා බොහොමයකි. මේ ආශ්‍රිතව පිහිටි ගල්ලෙන් බොහොමයක් වලගම්බා රජතුමා (ක්‍රි.පූ.104-103 සහ 87-77) සේනා සංවිධානය කිරීම පිණිස යොදා ගත් බවත් මෙම පර්වත භූමිය මුල්කොට ඇති උමං මාර්ග සහ දෝනා කිහිපයක මුවදොරවල් අද ද දැකිය හැකි බවත් ගැමියෝ කියති.

මේ අතර මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් පවත්නා තවත් මතයක් වනුයේ මෙය තුන්වන විජයබාහු (ක්‍රි.ව.1220-1224) රජතුමා විසින් කෘෂිකාර්මික සංවර්ධනයක් උදා කළ මායා රටට අයත් එතුමන් ගේ බල ප්‍රදේශයක් වූ බවකි. එමෙන්ම මේ රජවරුන් දෙදෙනාම හෝ ඉන් එක් රජ කෙනෙකු විසින් නිදන් කරන ලද කෝටි ගණනක ධනස්කන්ධයක් මෙම පර්වත ගර්භය තුළ සැඟව ඇතැයි ද පාරම්පරික විශ්වාසයක් පවතී.

එමෙන්ම මෙහි පවත්නා තවත් විශේෂත්වයක් වනුයේ මෙම පර්වතය හා සබැඳි වෙහෙරගලකන්දේ සංස්කෘත බසින් ලියන ලද පේලි පහකින් යුතු ශිලා ලේඛනයක් දක්නට ලැබීම ය. තිරියාය ගිරි ලිපිය ඇතුළු සංස්කෘත බසින් ලියැවුණු ශිලා ලේඛන කිපයක් පමණක් දක්නට ඇති අප රටේ දියගම්පල, වෙහෙරගලකන්දේ දැකිය හැකි මෙම ශිලා ලේඛනය පිළිබඳව අප රටේ පුරා විද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතුව තිබේ.

හල්ඔළුවකන්ද මුදුනේ ඇති ලොලුව රක්ෂිතය ආශ්‍රිත වනය වටිනා ශාඛ පද්ධතියකින් සහ පහත රට තෙත් බිම්  කලාපයේ දක්නට ලැබෙන ක්ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය, සමනල ආදී සත්ව ප්‍රජාවකින් යුතු ජෛව විවිධත්වයෙන් අනූන අනගි පාරිසරික පද්ධතියකි. එමෙන්ම මෙම ලොලුව රක්ෂිත භූමියට නැගුණු විට බස්නාහිර හා වයඹ පළාත්වල තැනිතලා බිම් රැසක් එක්වර දැක ගත හැකි වීම ද විශේෂත්වයකි.

සුපිරිසිදු උල්පත් දියෙන් නිබඳව ම පෝෂණය වන ස්වභාවික ජල තටාක කිහිපයක් ද මෙම ලොලුව රක්ෂිතය තුළ දක්නට ලැබේ. වැසි කාල වල දී මෙන්ම නියං සමයේ ද ඒවායින් පිටාර ගලා පහළට ඇද හැලෙන ජල මූලාශ්‍ර නවයකි. ඒවායින් කිහිපයක් මාඔය දක්වා ගලන අතර තවත් කිහිපයක් පර්වත පාමුල පිහිටි හල්ඔළුව, නවාන, හෙට්ටිමුල්ල සහ දියගම්පල යන ප්‍රදේශවල කුඹුරු අක්කර දෙසීයකට පමණ දියවර සපයයි.

අප රටේ ජන විඥානයට අනුව භූමියට සේම ජලයට අධිගෘහිත වනුයේ බහිරවයා ය. පැරණි වැව්වල බිසෝ කොටු ආශ්‍රිතව නාග රූප සලකුණු කළ මුරගල් දක්නට ලැබෙනුයේ ජලය සහ බහිරවයා අතර ඇති සබැඳියාව කියා පෑමට බවට ද මත ඉදිරිපත්ව තිබේ. ඒ අනුව හල්ඔළුවකන්ද මුල් කොට ගත් ලොලුව වනපෙත තුළින් මෙතරම් සුපිරිසිදු දියවරක් ඉස්මතු වීම බහිරවයා ගේ හාස්කමකැයි පැරණි ගැමියෝ විශ්වාස කළහ.

පිපාසය සංසිඳුවා ගැනීමට, වෙහෙස නිවා ශරීරය ශක්තිමත් කර ගැනීමට සේම ඇතැම් රෝග පීඩා සඳහා ඖෂධයක් වශයෙන් ද යොදා ගත හැකි බවට පැරණි ගැමියන් විශ්වාස කළ මෙම මාහැඟි දියවර මූලාශ්‍ර කොට ගනිමින් ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම කෙරෙහි ද පසුගිය කාලයේ අවධානය යොමු විය. එහෙත්, එය ද රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘතීන් මෙන් කතාවට පමණක් සීමා විණි.

මේ අතර අසූ කෝටියක් ධනය නිදන් කොට ඇතැයි පාරම්පරික ජන විශ්වාසයේ එන මෙම හල්ඔළුව පර්වත ගර්භයෙහි තැන්පත් කොට ඇතැයි සැලකෙන නිධානය සොරකම් කර ගැනීම කරෙහි යුහුසුළු වූ පිරිස් ද එදා සිට මෑතක් වන තුරුම දැකිය හැකි විය.

රන්, රිදී, මුතු, මැණික් ආදී ධන නිධානයන් සඟවා ඇතැයි සැලකෙන එම පර්වතයේ යම් යම් ස්ථාන ආශ්‍රිතව සිදු කරනු ලැබූ පූජා චාරිත්‍ර ආදිය හඟවන මල්, පහන්, බුලත්, බලි, බිලි ආදිය සහිත පූජා තටු ගැමියන් හමුවේ වරින් වර දර්ශනය වී තිබේ. එහෙත්, ඒ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදියෙන් එම ගල පිපිරී නිධානය මතු වූ බවට කිසිදු සළකුණක් නොමැත. පර්වතය ආශ්‍රිත ගැමියන් පවසනුයේ මේ සියල්ල බාහිරින් පැමිණෙන පුද්ගලයන් ගේ ක්‍රියාකාරකම් බව ය.

මේ අතර යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් බලයෙන් පුපුරුවා මතු කර ගත නොහැකි මෙම නිධානය වෙඩි බෙහෙත් මගින් හෝ පුපුරුවා ගොඩ දැමීමට වෙර දැරූ පුද්ගලයන් නව දෙනකු 2012 වසරේ අප්‍රියෙල් 30 වන දා කොටදෙනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලදුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට පමුණුවන ලදී. එහිදී පූජා උපකරණ වලට අමතරව ඒ සඳහා යොදා ගැනුණු බැකෝ යන්ත්‍රයක්, කොම්ප්‍රෙෂරයක්, ඩෙටනේටර් දෙකක්, වෙඩි නූල් දෙකක් සහ වෙඩි බෙහෙත් ද පොලිස් භාරයට පත් විය.

නමුදු දේශීය ජන විඥානයේ එන බහිරවයාට බලි බිලි දී නිදන් ගැනීමේ ගුප්ත සංකල්පය වෙනුවට බහිරවයා මරා නිදන් හෙවත් ස්වභාවික සම්පත් පැහැර ගැනීමේ බිහිසුණු සංකල්පය අද වන විට මෙම හල්ලොලුව කඳුවැටිය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් ක්‍රියාවට නැංවෙමින් තිබේ.

ඒ සොබාදහමේ අපූරු නිමැවුමක් වන මෙම පර්වතාශ්‍රිත උස්බිම් පද්ධතිය ආශ්‍රිතව සිදුවන මහා පරිමාන යාන්ත්‍රික කළුගල් කැඩීම අද වන විට ගුප්ත සංකල්පයක් වන බහිරවයාගේ කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ ජන ජීවිත වලත්, පාරිසරික පද්ධතියේත් ගෙල මුලින්ම සිඳලන දරුණු හූනියමක්, කොඩිවිනයක් බවට පත්ව ඇති බැවිනි.

හල්ඔළුව පර්වතාශ්‍රිත ප්‍රදේශයේ කළුගල් කැඩීම අරඹා ඇත්තේ මීට දශක කිහිපයකට ඉහත දීය. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු සඳහා භෞතික සම්පත් යොදා ගැනීමේ ප්‍රභවයක් ලෙස මෙම කඳු ප්‍රදේශයේ කළුගල් යොදා ගැනුණු බැවිනි.

මෙම යාන්ත්‍රික කළු ගල් කැඩීම ගැන නිසි අවබෝධයක් නොතිබුණු ගැමියන් ගෙන් ඒ කාලයේ ඒ සඳහා විරෝධයක් පළ නොවූව ද කළුගල් කැඩීම සඳහා සිදුකරන පිපිරීම් මත තම නිවෙස්වල පාදම් බිඳවැටීම, බිත්ති පුපුරා යාම, උස් බිම්වලින් ගම්මාන වලට පහතට රූරා හැලෙන දිය දහරාවල ජල ප්‍රමාණය අඩුවීම, පරිසරය පුරා පැතිර පවත්නා අහිතකර වාතාශ්‍රය නිසා කුඩා දරුවන් සේම වැඩිහිටියන් පවා නිතර ශ්වසන රෝගවලට බඳුන්වීම ආදී හේතු මත පසුව මෙම ‘කළුගල් කෙරුවාව’ ගම්මානවල විනාශයට තුඩු දෙන්නක් බව වටහා ගත් ගැමියෝ ඊට එරෙහිව නැඟී සිටින්නට වූහ.

එහෙත්, ශ්‍රී ලංකාවේ ‘පස් පාතාලය’ නම් වන සුවිශේෂ හැඳින්වීමකින් යුතු නව අපරාධ කල්ලි බිහි කිරීමේ පුරෝගාමී වූ දිවුලපිටිය ආණ්ඩු පක්ෂ සේම ප්‍රධාන විපක්ෂ දේශපාලන බලධාරීන්ගේ අනුග්‍රහයෙන් සහ ආශිර්වාදයෙන් වැලි, බොරළු, පස්, මැටි, යන මිහිකත සතු රීරි මාංශ උරා බොන ජාවාරම් අතරේ මෙම මහා පරිමාන කළුගල් ව්‍යාපාරය ද ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක්විය. මේ වන විට මෙම හල්ඔළුව කන්ද අශ්‍රිත අගනා පාරිසරික පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන මහා පරිමාන කළුගල් කැඩීමේ ව්‍යාපාර තුනකි.

මධ්‍යම පරිසර අධිකරිය, භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යංශය ආදී ඒ සම්බන්ධ වගකීම් දරන ආයතනවල නිල අවසරයෙන් ‘පරංගීන් ගේ ගෙරි හම එලා ගැනීමේ න්‍යායට අනුව’ අනුමත නීති, රෙගුලාසි සේම සදාචාර ධර්ම ද සිඳලමින් සිදු කෙරෙන මෙම කටයුතු නිසා මේ වන විට මෙම අගනා පාරිසරික පද්ධතිය ආශ්‍රිත ගම්මාන බොහොමයක් ජල හිඟය, වායු දූෂණය ඇතුළු ව්‍යසනයන් රැසකට මුහුණ දී තිබේ.

එම කුරිරු අභියෝගයට මුහුණ දීම පිණිස එම ප්‍රදේශවාසීන් සොබාධරණී පාරිසරික හා සුබසාධක සංගමය නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇතත් දේශපාලනය සහ කෝටිපති ජාවාරම් කාර බලය විසින් හොඳින් හා නරකින් එම ජනතා හඬ ද යටපත් කරමින් පවතින බව ඒ ප්‍රදේශ වල ගැමියෝ කියති.

මේ අතර හල්ඔළුව පර්වතය ආශ්‍රිත ලොලුව රක්ෂිතයට මායිම් ව මහා පරිමානයෙන් කළුගල් කඩමින් තිබියදී ජනතාවගේ බලවත් විරෝධය මුල්කොට මීට වසර විස්සකට පමණ ඉහත දී අතහැර දමන ලද ප්‍රදේශයක් නැවත කළුගල් කැඩීම පිණිස යොදා ගැනීමට කෝටිපති ව්‍යාපාරිකයෙක් සැලසුම් කරතැයි ප්‍රදේශවාසීහු කියති.

මේ සඳහා එම ව්‍යාපාරිකයා තම එක් අතකින් මැර බලය ද අනෙක් අතින් ප්‍රජා සත්කාර නම් ප්‍රෝඩාවන් ද ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන ගම්වාසීහු මේ සම්බන්ධ වගකීම් දරන රාජ්‍ය ආයතන නිලධාරීන් එය නැවත ඇරැඹිය යුතුය යන බිහිසුණු ස්ථාවරයේ පසුවන බව ද පෙන්වා දෙති.

ඒ සඳහා නිදසුන් වශයෙන් ඔවුන් පවසනුයේ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය  ඇතුළු ඒ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු ආයතන තමන් විසින් දැනුවත්කර තිබිය දී පසුගිය මාර්තු සහ ජූලි මාස වල එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වරයාවත් දැනුවත් නොකොට හදිසියේ ඒ සම්බන්ධ ස්ථානීය විමර්ශනයක් සඳහා යැයි කියමින් නිලධාරීන් පැමිණි බව ය.

එහි දී නොසන්සුන් වූ ප්‍රදේශවාසීන් දියගම්පල නවාන මාර්ගය අවුරා ඔවුන්ට ආපසු යාමට ඉඩ නොදී තමන් හා කතා බහකට එළැඹෙන ලෙස ඉල්ලා සිටිය ද එම නිලධාරීන් තම වාහනවල වීදුරු වසා නිහඬව සිටි ඇත.

අවසානයේ ඔවුන් අතර සිටි ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරියෙකු පමණක් ඉදිරිපත් වී ‘තවම ඒ සම්බන්ධ අවසාන තීරණයක් ගෙන නැතැ’යි පවසා සෙසු නිලධාරීන් ද සමඟ එම ස්ථානයෙන් පිටවීමට අවසර ලබාගත් බව ද එම ප්‍රදේශයේ ගැමියෝ කීහ.

‘ඔය කියන ව්‍යාපාරිකයා ලොලුව රක්ෂිතය ආශ්‍රිත අතිශය සංවේදී කලාපයෙන් ඉඩම් අක්කර හතලිස් අටක් වෙන් කර ගෙන මහා පරිමාන කළුගල් ව්‍යාපාරයකට මුල පිරීමට සැරසෙන බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේක මේ ගමට මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම සිද්ද කරන නපුරක්’. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන දිවුලපිටිය බහු විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම් කරු ඩයස් සමරක්කොඩි මහතා කීය.

’‘අද වෙනකොට හල්ඔළුවකන්දේ කළුගල් කැඩීම මුල් කර ගෙන එක දවසකට කළුගල් ටිපර් තුන්හාර සීයක් මේ ප්‍රදේශයෙන් පිටවෙනවා. ඒකට ඔය මහා පරිමාන කළුගල් වැඩපලත් එකතු වුණොත් ඒ ප්‍රමාණය දෙගුණ වෙනවා.

අනික මීට අවුරුදු විසි ගාණකට කලින් නතර කරපු ඔය කළුගල් වැඩපල නැවත පටන් ගැනීමත් එක්ක ලොලුව රක්ෂිතයේ ජල මූලාශ්‍ර පවා මුළුමනින්ම සිඳී යන්න පුළුවන්.

දැනටමත් දියගම්පල වගේ ප්‍රදේශවලට මේ පරිසර පද්ධතියෙන් එකතු වෙන ජල මූලාශ්‍ර ශීඝ්‍රයෙන් අඩු වෙමින් තියනවා” සමරක්කොඩි මහතා කීය.

ඔහු වැඩිදුරටත් පැවසූ අන්දමට මෙම පරිසර පද්ධතියෙන් ලබා ගන්නා දියවර යොදා ගනිමින් කෘෂිකර්මය මගින් දිවි රැක ගන්නා පවුල් තුන්සියයක් පමණ ඒ අද්දර ගම්මානවල සිටිති.

නමුදු අලුතින් ඇරඹීමට යෝජිත කළුගල් කැඩීමේ ව්‍යාපෘතිය කෙසේ වෙතත් දැනට මෙම පාරිසරික පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන මහා පරිමානයේ කළුගල් කැඩීම් වහා නතර කළ යුතු බවත් එසේ නොවුණහොත් මතු මේ ප්‍රදේශ වල ජීවත් වන සියලු ගැමියන්ට උරුම වන එකම ජීවන වෘත්තිය එම කළුගල් වැඩපල වල අනියම් කම්කරු රැකියාවන් පමණක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව බහිරවයාට බිලි දී නිදන් ගැනීමට වඩා බහිරවයා මරා නිදන් පැහැර ගැනීම හෙවත් පරිසරය විනාශ කොට ස්වභාවික සම්පත් පැහැර ගැනීම කෙතරම් බිහිසුණු දැයි සිතා ගැනීමට අපට හැකිවනු ඇත.

තිලක් සේනාසිංහ

t

o

p