නිරෝධායන නීති ගැසට්ටුව එයි

October 16, 2020

ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දූරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැලැඳීම ඇතුළු ප්‍රධාන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සහිත නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. මෙම ගැසට් නිවේදනයට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දහවල් අස්සන් තැබූ අතර අදාළ සෞඛ්‍ය නීති කඩ කරන පුද්ගලයන්ට මෙම ගැසට් නිවේදනය අනුව රුපියල් 10000කට නොවැඩි දඩ මුදලක් සහමාස 6ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් හෝ නියම කිරීමට අධිකරණයට හැකියාව ලැබේ.

ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුළුවීම හා පවත්වාගෙන යාම පිළිබඳ ද මෙම ගැසට් නිවේදනයෙන් නීති පෙන්වා දී තිබේ.

ඒ අනුව සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට අතුළුවන සෑම තැනැත්තෙක්ම සෑම අවස්ථාවකදීම මුව අවාරණයක් පැළැඳ සිටිය යුතු බවත් දෙදෙනකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතු බවත් දක්වා තිබේ.

සේවා ස්ථානයට ඇතුළුමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම, විසබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම, ඇතුළුවන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම, සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම යානාදීය ද අනුගමනය කළ යුතු බව ගැසට් නිවේදනයෙහි සඳහන් කර තිබේ.

එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණුවලට අදාළ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා ඇත.

t

o

p